මහවැලි ගඟ

දිගින් සැතපුම් 206ක් වන මෙය ලංකාවේ දීර්ඝතම ගංගාව ද වෙයි. මහවැලි ගංගාවෙහි හා එහි අතු ගංගාවල මිටියාවත් ලංකාවේ සමස්ත භූමියෙන් 1/6ක ප්‍රදේශයක(සතරැස් සැතපුම් 4000ක් පමණ) පැතිර ගොස් තිබේ. ශ්‍රී පාද කඳු පන්තිය ආශ්‍රිතව ඇරඹී, ඊශාන දෙසට ගලා ගොස් ත්‍රිකුණාමලයේ දී මුහුදට වැටේ. හැටන් ගඟ මෙහි පළමු අතු ගංගාවයි. අටබාගේ ඔය, නීලඹේ ඔය, තලාතුඔය, මයිලපිටිය ඔය, මහඔය, ඛෙලිහුල් ඔය, කුරුඳු ඔය, හුන්ගන් ඔය, හුළු ගඟ, මා ඔය, උමා ඔය, බදුලු ඔය, ලොග්ගල් ඔය, හිප්පොළ ඔය, දඹරාව ඔය, දියබානා ඔය, උල්හිටිය ඔය, හසලක ඔය, හින් ගඟ, හෙට්ටිපොළ ඔය, දුනුවිල ඔය, අඹන් ගඟ, වැනි අතු ගංගා වලින් පෝෂණය වේ. ත්‍රිකුණාමලය අසලින් මුහුදට වැටීමට පෙර අතු ගංගා කිහිපයකට ඛෙදී වෙන් වන මහවැලි ගඟට එම කොටසේ දී කවුඩුළු ඔය ද එක් වේ. මහවැලි ගඟ මුල් කාලයේ දී ‘ගංගා’ යනුවෙන් හැඳින්වුණ ද, පසු කාලයේ මහා වාලුකා නදී නමින් හඳුන්වා ඇත. මහා පරාක්‍රමබාහු රජ දවස(1153-1186) මහවැලි ගඟේ සරෝගාමතිත්ථයේ සිට ගොකණ්ණ දක්වා සේනා නතර කළ බව සඳහන් වේ. දුටුගැමුණු රජ දවස (ක්‍රි.පූ. 161-137) එතුමාගේ සේනාවේ වේළුසුමන නම් යෝධයා මහවැලි ගඟේ වඩ්ඨමානක තිත්ථයට පැමිණ එහි දෙගොඩ සිටි දමිළයන් දහසක් බැගින් මරා දැමූ බවත්, එම නිසා එතැන්  පටන් එය සහස්තිත්ථ හෙවත් අසස්මණ්ඩලතිත්ථ නම් වූ බවත් වංසකථාවල සඳහන් වේ. අද මෙය දාස්තොට නම් වේ. මෙම ගංගාව මහා වාලුකා නදී නමින් මුල් වරට හඳුන්වා ඇත්තේ මිණිපේ  පුවරු ලිපියේය. 13වන සියවසට අයත් එම ලිපියෙහි දෙපලක ම මහවැලි ගංගා යන නම යෙදී තිබේ. පොළොන්නරුවේ මාඝ පාලන සමයෙහි මිණිපේ ප්‍රදේශයේ බලය රැකගෙන සිටි භාම නම් සෙන්පතියෙකු ගැන සඳහන් වේ. සාහිත්‍ය කෘතියක මහවැලි ගඟ පිළිබඳව මුල් වරට සඳහන් වන්නේ 1266 වසරේ පමණ ලියූ පූජාවලියේ ය. ඒ සමනල සිරසෙහි බුදුන් වහන්සේ  ශ්‍රීපාද සටහන තැබීම පිළිබඳ විස්තරයේ ය. ඊට ආසන්න කාලයක රචිත විසුද්ධිමාර්ග මහා සන්නයේ ද මහවැලි නදිය පිළිබඳ සඳහන් වේ. ‘ගංඟාතීරේ තාම්‍රපර්ණී ද්වීපයෙහි වූ මහවැලි ගං ඉවුරෙහි’  යනුවෙන් එහි සඳහන් වේ. පසළොස් වැනි සියවසේ පමණ සිට රචිත සෑම කෘතියක ම පාහේ මෙම ගංගාව මහවැලි ගඟ නමින් ම හඳුන්වා ඇත.  ලක් වැසියන් අතීතයේ පටන් ම මහවැලි ගඟ සිය කෘෂි කටයුතුවලට දායක කර ගත්හ. මිණිපේ අමුණ හා ඇළ, ඇළහැර අමුණ හා ඇළ, අංගමැඩිල්ල අමුණ හා ඇළ ඊට සාධක සපයයි. වර්තමානයේ මහවැලි ගඟ මුල් කර ගනිමින් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.  මේ යටතේ දැනට වික්ටෝරියා, උල්හිටිය, රත්කිඳ, කොත්මලේ, රන්දෙණිගල හා මාදුරු ඔය, වැනි ජලාශ ඉදි කර ඇත.

 

Share with a student

 

මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න