ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය

ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම සාධක අයත්වන්නේ ක්‍රිස්තු පූර්ව 7000ට පමණ ය. මෙම ශිෂ්ටාචාරය ගොඩ නැඟුණේ මොහෙන්ජොදාරෝ සහ හරප්පා නම් නගර මුල් කරගනිමින් ඉන්දු නදිය ආශ්‍රිතව යැයි මුල් කාලීව විශ්වාසයක් තිබුණ ද දැනට එම තත්ත්වය වෙනස් වී තිබේ. නූතන කැණීම් අනුව පෙනී ගොස් ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පැතිර පැවති භූමිය වර්ග සැතපුම් විසිලක්ෂයක් පමණ වන බවයි. (ලංකාවේ සමස්ත භූමිය වර්ග සැතපුම් විසිපන්දහසක් පමණ වේ.) මුල දී හරප්පාවත් පසුව මොහෙන්ජොදාරෝවත් සොයා ගත් නිසා මේ සභ්‍යත්වය හරප්පා සභ්‍යත්වය සේ හඳුන්වන ලදී. නමුත් පසු කාලීනව එය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ලෙස හැඳින්වුව ද එය පැතිර පැවති භූමිය වර්ග සැතපුම් විසිලක්ෂයක් සේ හඳුනාගැනීමෙන් පසු එහි නාමය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය සේ දැක්වීමට අපහසු වී තිබේ. මේ නිසා මේ ශිෂ්ටාචාරයෙ නම හරප්පා සභ්‍යත්වය සේ හැඳින්වීමේ පොදු එකඟතාවක් පුරාවිද්‍යාඥයින් අතර ඇති වී තිබේ. එමෙන් ම නවතම සොයාගැනීම් අනුව මේ නගර දෙකටත් වඩා ප්‍රබල වටිනාකම් ඇති නගර හමු වී තිබේ. ඒ අතර ඉන්දුනිම්නයේ ප්‍රධාන පරිපාලන නගරය, හා වාණිජ නගරය සේ සැලකෙන රඛිගාර්හි ද වේ.  කෙසේ වුව ද මුල් කාලීනව හමු වූ වැදගත් ම නගර දෙක වන හරප්පාව හා මොහොන්ජොදාරෝව මේ ශිෂ්ටාදාරයේ නම හා අත්‍යන්තයෙන් ම බැඳී ගොස් ඇත. මෙම එක් නගරයක පමණක් ජනගහනය 40,000 ක් වූ බව සඳහන් ය. එකී නිගමනයට පැමිණ ඇත්තේ හමු වී ඇති නටබුන් වලට අනුව ය. මෙම නගරවල ඉදිකර තිබූ මැටි ගඩොලින් තැනුණු සුවිසල් මැඳුරු හා ගොඩනැගිලිවලින් නගරයේ සශ‍්‍රීකත්වය මැනෙවින් පිළිබිඹු විණි. මේ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී ඇත්තේ වර්තමාන පාකිස්තානයට අයත් ප‍්‍රදේශවලින් මතු කර ගත් මෙම නගරවල නටබුන්වලිනි. ඒ නටබුන්වලින් ලැබුණු පුරාවස්තු අද පාකිස්තානයේ කෞතුකාගාරවල දැක ගත හැකියි. ලෝකයේ මෙතෙක් ගවේෂණය කර ඇති පැරණි ශිෂ්ටාචාරයන් අතර ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට වැදගත් තැනක්‌ හිමි වේ. ක්‍රි.ව. 1922 දී පුරාවිද්‍යාඥයන් විසින් ඉන්දු නිම්නයේ තිබි සාරා ගොඩ ගන්නා ලද පුරාවස්‌තූනට අනුව වෛදික සංස්‌කෘතියටත් වඩා පැරණි ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3000 අතර කාලය තුළ දියුණුව තිබූ වැදගත් සංස්‌කෘතියක්‌ පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ. ඒ අනුව මොහෙන්ජෝදාරෝ – හරප්පා නගර දෙක සොයා ගැනීමෙන් ඉන්දීය ඉතිහාසයේ නව්‍යතම කාල පරිච්ඡේදයක්‌ උදා විය. එහෙයින් ඉන්දීය ඉතිහාසයේ ආරම්භය ආර්යයන්ගේ ආගමනයේ සිට සිදු වීය යන මතය වෙනස්‌ විය. එවකට ඉන්දීය භූමියෙන් සැලකිය යුතු ප්‍රදේශයක් පාලනය කළ ඉංග්‍රීසීන්ට ද එතෙක් ඉන්දියානුවන් පිළිබඳ ඔවුන් සිටි මතය වෙනස් කිරීමට මේ ගවේෂණ ඉවහල් විය. මෙසපොටේමියානු, සුමේරියානු හා මිසර වැනි ප‍්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාර සමග සම තත්වයෙහිලා සැලකිය හැකි මෙම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව මුලින් ම හෙළි කර ගනු ලැබුවේ 1826 වර්ෂයේ දී චාර්ල්ස් මාසන් විසිනි. 1853 වර්ෂයේ දී ලාහෝර් කරච්චි දක්වා දුම්රිය මාර්ගය ඉදිකරන අතර මේ ශිෂ්ටාචාරය පිළිබඳ තවදුරටත් නටබුන් හමුවිය. බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් මේ ශිෂ්ටාචාරය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදුකරන ලදී. මේ ශිෂ්ටාචාරය පිළිබඳව ම තොරතුරු සොයා ගවේෂණයක් කළ පළමුවැන්නා ද මොහු ය. නමුත් මේ පිළිබඳ විධිමත් පර්යේෂණ ඇරඹුණේ  1921 දී ය. ඒ දයාරාම් ශානි විසිනි. එම වර්ෂයේ දී ම රාවි නදිය ආශ්‍රිතව මොන්ට්ගොමරි දිස්ත්‍රික්කයේ පිහිටි හරප්පා නගරය සොයා ගන්නා ලදී. ශිෂ්ටාචාරය හරප්පා ශිෂ්ටාචාරය සේ හැඳින්වූයේ මේ නිසා ය. මොහෙන්ජොදාරෝ නගරය සොයාගනු ලැබූයේ 1922 වර්ෂයේ දී  ආර්.ඩී. බැනර්ජි විසිනි. මේ සොයාගැනීමත් සමග ශිෂ්ටාචාරයේ නම මොහෙන්ජොදාරෝ-හරප්පා ශිෂ්ටාචාරය සේ වෙනස් විය. සියවස් එක හමාරක් තිස්සේ කරන ලද සොයා ගැනීම් අනුව එම ශිෂ්ටාචාරයේ එදිනෙදා දිවි පැවැත්ම ගැන ද අපට යම් යම් කරුණු හෙළි කර ගත හැකි වී තිබේ. ඒ අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වැසියන් සුමේරියානුවන් සමඟ වෙළඳ ගනුදෙනු කර තිබේ. ඒ අනුව ඔවුන් විදෙස් සබඳතා පවා වර්ධනය කරගෙන සිටි දියුණු ශිෂ්ටාචාරයක් සේ පිළිගැනීමට හැකියාව ලැබේ. මෙම ශිෂ්ටාචාරයෙන් හමු වී ඇති මුද්‍රා වල ඇති අක්ෂර කියවා නැති නිසා ශිෂ්ටාචාරය පූර්ව ඓතිහාසික යුගයට අයතු යැයි සැලකීමට සිදුව තිබේ. ඔවුන් යකඩ නිෂ්පාදනය නොකළ නිසා ලෝකඩ යුගයට අයත් සේ සැලකිය යුතු වේ. දැනට හමු වී ඇති තොරතුරු අනුව මේ ශිෂ්ටාචාරය ලොව පැරණි ම ශිෂ්ටාචාරය යැයි සැලකීමට ද සිදුවී තිබේ. සංක්‍රණික ආර්යයන් හා මෙම ශිෂ්ටාචාරයේ කිසිදු සබඳතාවක් නොමැතිබව ද සොයාගෙන තිබේ.

ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළෝ

  • දයාරාම් ශානි.
  • ආර්.ඩී. බැනර් ජී.
  • ඒ. ඝෝෂ්.
  • ජෝන් මාර්ෂල්.
  • එම්. කේ. දවාලිකර්.
  • පොෂෙලි.
  • වසන්ත් සින්දේ.
  • බී.බී. ලාල්.
  • එම්.එස්. වත්ස්.
  • මැකේ.
  • සුරප් ධනන්
  • මෝර්ටිමර් විලර්
  • එස්. ආර්. රාඕ.
  • ෂෙරින් රත්නගර්

ශිෂ්ටාචාරයේ නම

හරප්පා සභ්‍යත්වය, ඉන්දුනිම්න ශිෂ්ටාචාරය, මොහෙන්ජොදාරෝ-හරප්පා ශිෂ්ටාචාරය, පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය…වැනි විවිධ නම් වලිනා මෙම ශිෂ්ටාචාරය හඳුන්වනු ලැබේ. මෙකී නම් වලට විවිධ හේතු තිබේ. මෙම ශිෂ්ටාචාරයට අයකත් නගර අතරින් පළමුව හමු වූ නගරය වූයේ හරප්පාවයි. මේ නිසා එහි නම හරප්පාව මුල්කරගනිමින් යෙදීමට ඉතිහාසඥයෝ කටයුතු කර ඇත. මෙම ශිෂ්ටාචාරයට අයත් නටබුන් ඉන්දු නිම්නයෙන් පිටතට ප‍්‍රදේශවලින් ද සොයා ගෙන ඇති නිසා මෙම ශිෂ්ටාචාරය, ‘ඉන්දු නිම්න ශිෂ්ටාචාරය’ යනුවෙන් හඳුන්වනවාට වඩා ‘හරප්පා ශිෂ්ටාචාරය’ යනුවෙන් හැඳින්වීම වඩා උචිත යැයි පුරාවිද්‍යාඥයෝ කියති. මොහෙන්ජෝදාරෝ හරප්පා යන අපර නාමයෙන්ද හඳුන්වනු ලබන මෙම ශිෂ්ටාචාරය ඉන්දියාවේ පහළ වූ පළමු ශිෂ්ටාචාරය වශයෙන් සැලකේ. හරප්පාවට සමාන කුඩා නගර 14ක් ද, මොහෙන්ජොදාරෝවට සමාන නගර 17ක් ද පසුව සොයාගන්නා ලදී.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සක්‍රියව පැවති කාලය.

තාම්‍ර ශිලා යුගයට අයත් ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ වශයෙන් මෙය සැලකෙන අතර සින්දි ප්‍රදේශයේ මොහෙන්ජෝදාරෝ හා පන්ජාබ් ප්‍රදේශයේ හරප්පා යන ප්‍රධාන නගරද්වය කේන්ද්‍ර කරගෙන තවත් උප නගර ගණනාවක්‌ පුරා මෙම ශිෂ්ටාචාරය ව්‍යාප්තව ඇත.  නූතන “Radio Carbon” පර්යේෂණයට අනුව මෙම ශිෂ්ටාචරය ක්‍රි.පූ. 7000 ක්‍රි.පූ. 1650 අතර කාලයේ පවතින්නට ඇතැයි සැලකේ. එහෙත් මෙහි කාල සීමාව පිළිබඳව විචාරකයන් අතර ඒකමතිකත්වයක්‌ නොමැත. ඒ අනුව මෙම ශිෂ්ටාචාරයේ කාලය පිළිබඳ උගතුන් පහත ආකාරයට අදහස්‌ දක්‌වා ඇත. මෙකී අදහස් දැක්වීම් සඳහා විවිධ සාධක ද ඔවුන් විසින් උපයෝගී කරගෙන තිබේ. මේ නිසා මේ අර්ථ දැක්වීම් විවිධ ආකරයට පදනම් සහිත ඒවා බව සිතන්නට සිදු වේ. ඊට අනුව

  • ජෝන් මාෂල් මතය ක‍්‍රි. පූ. 3250-2750 අතර කාලයේ.
  • මෝර්ටිමර් විලර් මතය ක‍්‍රි. පූ. 2500-1500 අතර කාලයේ.
  • පෙයාර් සර්විස් මතය ක‍්‍රි. පූ. 2000-1500 අතර කාලයේ.
  • සී. පී. අග‍්‍රාවාල් මතය ක‍්‍රි. පූ. 2300-1750 අතර කාලයේ.
  • ඉතිහාසඥ වේල්ස් මතය ක‍්‍රි. පූ. 2540-1864 අතර කාලයේ.
  • පොදු මතය ක‍්‍රි. පූ. 2150-1750 අතර කාලයේ.
  • විද්‍යාත්මක මතය(රේඩියෝ කාබන් දින වකවානු ක‍්‍රමය අනුව) ක‍්‍රි. පූ. 2500-1500 අතර කාලයේ.
  • නූතන පර්යේෂණ අනුව ක‍්‍රි. පූ. 7000-1650ත් අතර කාලයේ.

ඒ කෙසේ වෙතත් නූතන පුරාවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ මෙම ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 2500 – ක්‍රි.පූ. 1900 අතර කාලයට අයත්විය යුතු බවයි. 1856 දී යුරෝපීයයන් මුලින්ම ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් අතර 1924 දී ජෝන් මාර්ෂල් නම් පුරාවිද්‍යාඥයා විසින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සොයාගත් බව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ශිෂ්ටාචාරයේ සම්භවය පිළිබඳ ඇති විවිධ මත

මේ ශිෂ්ටාචාරයට අයත් භූමියේ මුල් නටබුන් හමු වූයේ සින්ධු නදියට ඉතා සමීපවය.මේ නිසා කැනීම් වලදී ජලයෙන් මහත් බාධා ඇතිවිය. ඒ නිසා පුරාවිද්‍යාඥයින්ට මෙම ශිෂ්ටාචරයේ මුල් ම හා පැරණි ම යුල තෙක් අධ්‍යයනක කිරීමට අපහසු විය. වර්තමානයේ පවා ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ කැණීම් කිරීමේ දී විවිධ ගැටළු වලට මුහුණ දීමට පුරාවිද්‍යඥයිනට සිදුව තිබේ. මෙහි නටබුන් ඉන්දියාවේ පමණක් නොව පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බලුකිස්ථානය වැනි රටවලට ද පැතිර තිබීමත්, මෙකී ඇතැම් රටවල් සමග ඉන්දියාවේ රාජතාන්ත්‍රික සබඳතා එතරම් යහපත් තත්ත්වයේ නොපැවතීමත් ඊට හේතු වී ඇත. අනෙක් කරුණ නම් මේකී රටවල ඇති විවිධ ආගමික හා සංස්කෘතික ගැටුම් හා පරස්පරතා නිසා වැසියන් විසින් පුරාවස්තූන්ට හානි කරන අවස්ථා බහුල වීමයි. කෙසේ වුව ද දැනට ලැබී ඇති සාධක වලින් හා සමකාලීන ශිෂ්ටාචාර සමග සංසන්දනාත්මකව බැලීම තුළින් පුරාවිද්‍යඥයින් මත කිහිපයකට පැමිණ තිබේ. නමුත් මේ පිළිබඳව ඇති විවිධ අදහස් අනුව මේ අදහස් ප්‍රධාන වර්ග 3කට බෙදා දැක්විය හැක.

  1. ඉන්දියාවේ බිහි වූ ස්වදේශික ශිෂ්ටාචාරයකි.- මොහෙන්ජෝදාරෝ – හරප්පා යන නගර දෙක නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවට පැමිණි ආර්යයන් නොව සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ ඉන්දියාවේ පදිංචිව සිටි මුල් පදිංචිකරුවන් වූ ස්‌වදේශිකයන්ය යන මතයේ ඉන්දීය පුරාවිද්‍යාඥයෝ තදින් ම එල්බ සිටිති. ඉන්දීය පුරාවිද්‍යාඥයින්ට අමතරව ග්ලීන් ඩැනියෙල් හා ෆෙයාර් සර්විස් වැනි උගතුන් ද මේ මතයේ සිටිති. මෙතෙක් හමු වූ නටබුන් හා ඒ අශ්‍රිතය ගොඩනැංවූ උපකල්පන අනුව මෙම ශිෂ්ටාචාරය ඒකීය බවක්, අනන්‍යතා ලක්ෂණ රැසක් හා හුදෙකලාවක් සහිත එකක් බව අනුමාන කෙරේ. ඒ මතයේ සිටිනා පිරිස විශ්වාස කරන්නේ මෙය ඉන්දියාව තුළ ම සම්භවය වූ ශිෂ්ටාචාරයක් බවයි. ශිෂ්ටාචාරය පැතිර පැවත් ප්‍රදේශවලට වයඹ දෙසින් හා බටහිරින් ඇති කඳුකර ප්‍රදේශ වලින් හමු වී ඇති ග්‍රාමීය සංස්කෘතික ලක්ෂණ අධ්‍යයනය තුළින් ඔවුන් මේ මතයට එල්බ සිටිති. ඇතැම් මුද්‍රා වල ඇති මොල්ලිය සහිත ගව රුව වැනි රූප සටහන් ඉන්දීය ලක්ෂණ සහිත යැයි ඔවුන් විශ්වාස කරති. අර්ධ වශයෙන් පිළිගතහැකි පදනමක් ඔවුන්ගේ මතය තුළ තිබුණි. නමුත් මේ මතය තහවුරු කරමින් 2016 වර්ෂයේ දී මෙහි කැණීම් කළ වසන්ත් සින්දේ මහතා මේ ආශ්‍රිතව විශේෂ නගරයක් සොයා ගත්තේ ය. රඛිගාර්හි නමින් හඳුන්වන එම නගරය හරප්පාව මෙන් තුන් ගුණයක් විශාල වන අතර මෙතෙක් ඉන්දුනිම්නයෙන් සොයගෙත් විශාල ම නගරය ද වන්නේ ය. මේ නගරය ආශ්‍රිත කැනීම් වල දී සොයා ගත් සාධක වලින් පෙනී යන්නේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය විදෙස් සම්භවයක් නොමැති ස්වාධීන ශිෂ්ටාචාරයක් බවයි. මේ තුළින් දේශීය සම්භවයක් ඇත යන මතය ම අදහස් නොවෙතත් ඉන් දේශීය සම්භවයක් ඇත යන මතයට විශාල ශත්කියක් ලැබෙයි.
  2. විදේශීය සම්භවයක් සහිත ශිෂ්ටාචාරයකි.-සින්ධු බලුකිස්ථාන් දේශසීමාබදව කළ කැනීම් වල දී හමු වූ තොරතුරු අනුව පෙනී යන්නේ මේ සඳහා විදෙස් සම්භවයක් ඇති බවයි. ක්‍රි.පූ. 6 වන සහස්‍රකයේ දී පමණ එකී ප්‍රදේශවල ජීවත් වූ ජන කොටසක් පිළිබඳව පුරාවිද්‍යාඥයෝ මෙහිදී තොරතුරු අනාවරණය කරගත් හ. ඒ ජන කොට්ඨාසය තිරිඟු බාර්ලි වැනි දේ වගාකළ කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරුවී සිටි පිරිසකි. ඔවුන් එළුවන්, බැටළුවන්, ගවයන් ඇතිකළ සමාජයක වැසියෝ වූහ. අවුවේ වේලා ගත් අමුමැටි ගඩොලින් නිවාස ඉදිකළ ඔවුහූ වර්ණවත් වළං තැනීමට ද දැන සිටිය හ. එපමණක් නොව , තඹ උණූ කිරීමට ද දැන සිටියහ.මේ ආභාසය ඇති පිරිසක් පසු කළෙක ඉන්දු නදී මිටියාවතට පැමිණ නව ශිෂ්ටාචාරයක් බිහි කළ බවට ද විශ්වාසයක් පවතී. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හා සුමේරියානු ශිෂ්ටාචාරය ආශ්‍රිතව ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ ඇතැම් සාධක හමු වන නිසා ද මෙය විදෙස් සම්භවයක් ඇති ශිෂ්ටාචාරයක් සේ පිළිගැනීමට ලක් වී තිබේ.මෙසපොතේමියානු ප්‍රදේශ වලින් ඉන්දුනිම්න මුද්‍රා හෝ ඊට සමාන මුද්‍රා හමු වී තිබේ. ඉන්දුනදීයේ මුවදොර ආශ්‍රිත තොටුපලක් සේ පිළිගැනෙන නගරයක් දිල්මුන් නගරය යන නමින් සුමේරියානු ලේඛන වල හමු වේ. මේ නගරය සමග සුමේරියානුවන් ගනුදෙනු කළ බව ද සඳහන් ය.
  3. ස්වදේශීය හෝ විදේශීය කියා හඳුනාගැනීමට අපහසු ශිෂ්ටාචාරයකි. ඉහතින් කී ලක්ෂණ දෙක ම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආශ්‍රිතව හමු වී ඇතත් කැනීම් වල දී හමුවන්නේ පරිනත අවස්ථාවක පවතින ශිෂ්ටාචාරයක නටබුන් නිසා මේ ශිෂ්ටාචාරය දේශීය හෝ විදේශීය සම්භවයත් ඇති ශිෂ්ටාචාරයකැයි අනුමාන කළ නොහැකි බව ඇතැම් විද්‍යායෝ ප්‍රකාශ කරති. ඔවුන් උත්සාහ කරන්නේ මේ ශිෂ්ටාචාරය පිළිබඳ තවදුරටත් කරුණු ගවේශණය කර නිගමනයකට එළඹීමට ය.

ශිෂ්ටාචාරයේ නිර්මාතෘවරු

ඉතා උසස් සංවර්ධිත සභ්‍යත්වයක ලක්‌ෂණ කියාපාන නටබුන් ඉන්දු නිම්නයෙන් ලැබී ඇත. මෙහි කැණීම් වල දී ප්‍රධාන ජනවර්ග සාමාන්‍යයෙන් දකුණු ඉන්දීය ජාතිකයන් හරප්පා සංස්‌කෘතියේ ප්‍රධාන මානව සාධකයන් දෙක වූ මධ්‍යධරණි හා ඔස්‌ට්‍රොලොයිඩ් වර්ගයේ සම්මිශ්‍රණයකි. විවිධ ජන කොටස්‌ කීපයකින් සමන්විත සමාජයක්‌ තුළින් මෙම සභ්‍යත්වය බිහි වු බව සැලකේ. දැනට ලැබී ඇති පුරාකෘතවලට අනුව මෙය එක්‌ ජාතියක නිර්මාණයක්‌ යයි නිගමනය කළ නොහැකිය. මානව වංශ විද්‍යාත්මක තොරතුරුවලට අනුව ප්‍රධාන වශයෙන් ජන කොටස්‌ හතරක්‌ මෙම ශිෂ්ටාචාරයේ විසූ බවට ඇටසැකිලි අවශේෂ සාධක වේ. එම ජාතිකයන් පහතාකාරයට දැක්‌විය හැකිය.

  1. ආදි ඔස්‌ට්‍රොලොයිඩ්වරු
  2. මධ්‍යධරණි ජාතිකයන්
  3. මොන්ගෝලියානු ජාතිකයන්
  4. ඇල්පයින්වරු වශයෙනි

එමෙන්ම ද්‍රවිඩ දේශයෙහි විශේෂයෙන් ජනප්‍රියව පවත්නා ඉන්දු සාමයික මූලයන් සමග හරප්පා ආගමික සංකල්ප බොහෝ සමානකම් දක්‌වයි. ඉන්දු මිටියාවතේ ආගම පිළිබඳව පරීක්‌ෂා කිරීමේදී බහුල වශයෙන් ප්‍රචලිතව ඇත්තේ කුඩා ආසියාවේ ප්‍රචලිතව පැවති මාතෘ දෙවඟන පිදීමය.

ඉන්දු නිම්න නගර නිර්මාණය හා නාගරික ලක්ෂණ

ඉන්දුනිම්නයෙන් නගර ගණනාවක සාධක හමු වී ඇත. මේ අතරින් ප්‍රධාන නගරය සේ සැලකෙන්නේ රඛිගාර්හි නගරය යි. එය ප්‍රධාන වාණිජ නගරය මෙන් ම පරිපාලන නගරය ලෙස ද ක්‍රියාත්මක වී ඇත. මීට අමතරව මොහෙන්ජොදාරෝ හා හරප්පා යන නගරද්වය ද ප්‍රධාන නගර ලෙස තිබී ඇත. මේ ප්‍රධාන නගර පිළිබඳ කර ඇති පර්යේෂණ අනුව පෙනී යන්නේ නගර ත්‍රිත්වය ම සැලසුම අතින් එකිනෙකට සමාන බව යි. එමෙන් ම ඉතා ක්‍රමවත් හා සැලසුම්සහගත ආකාරයට මෙම නගර ඉදිකර ඇත බවයි. තව ද ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ නගර නිර්මාණය ලොව බොහෝ පැරණි ශිෂ්ටාචාර වලට වඩා වෙනස් හා උසස් ස්වභාවයක් ගන්නා බව ද සොයාගෙන තිබේ. නගර නිර්මාණයේ දී ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ කරුණු කිහිපයකි.

  • සනීපාරක්ෂාව
  • ආරක්ෂාව
  • පහසුව
  • භූමිය උපරිමයෙන් භාවිත කිරීම.

ඔවුන්ගේ නාගරික ලක්ෂණ මාතෘකා කිහිපයක් යටතේ විස්තර කළ හැකි ය.

  1. මාර්ග පද්ධතිය.
  2. ජල අපවහන කානු පද්ධතිය.
  3. නිවාස පද්ධතිය.
  4. පහන් කුලුනු පද්ධතිය
  5. ඇතුළු නගරය.
  6. පොදු ගොඩනැගිලි පද්ධතිය
  • මාර්ග පද්ධතිය

ඔවුන් නගර ඉදිකර ඇත්තේ පූර්ව සැලසුමකට අනුව ය. භාවිත කර ඇති භූමිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගතහැකි අයුරින් ආයත චතුරස්‍රාකාරව බෙදී යන අයුරින් මාර්ග පද්ධතිය සකස් කර තිබේ. මාර්ග වර්ග දෙකකි.

මහ වීථි හා පටු මාවත් ලෙසිනි

මහ වීථි අඩි 34ක් පමණ පුළුල් වූ අතර පටුමාවත් අඩි 9ක් පමණ පුළුල්ය. උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් විහිදෙන අයුරින් මාර්ග සකස් කර ඒවාට සම්බන්ධ පටු මාවත් ද සකස් කර තිබේ. මාර්ග ඉදිකර ඇත්තේ පිළිස්සු ගඩොළු භාවිතයෙනි. මාර්ගය දෙපස ජල අපවහන කානු සකස් කර තිබේ. නිවාස ඉදිතර ඇත්තේ මාර්ගයේ සීමාව අද්දර ම සිට ය. නාගරික ප්‍රදේශවල ඉඩම් සීමිත නිසා මේ ආකාරයට ඉඩම් පරිහරණය කර ඇත. නිවාස මාර්ගයට ඉතා සමීපව ඉදිකර ඇති නිසාත් නාගරික වීථි කාර්යබහුල නිසා ත්, ආරක්ෂාව හා සනීපාරක්ෂාව වෙනුවෙන් නිවාස වල දොර ජනේල ආදිය මාර්ගයට මුහුණලා නිර්මාණක කර නැත. මාර්ගය දෙසට ඇත්තේ අන්ධ බිත්ති පෙළකි. (Blind Wall) දුහුවිල්ලෙන් හා ශබ්ද දූෂණයෙන් ගැළවීම එහි අරමුණ වන්නට ඇති අතර සදාචාරය පිළිබඳ සංකල්පනා ද ඊට බලපාන්නට ඇත. කෙසේ වුව ද මේ ඉදිකිරීම් රටාව නිසා මාර්ගයේ ගමන්ගන්නෙකුට දැනෙන්නේ තමන් උස් තාප්ප දෙකක් අතරින් ගමන් ගන්නා බවයි.(පින්තූරය බලන්න)

  • කානු පද්ධතිය

මෙහි ඇති ජල අපවහන කාණු පද්ධතිය ද විශේෂය. කාණුවක් අංග 4ක්නි සමන්විතය

  1. පැති බැමි
  2. ආවරණය
  3. මනුබිල
  4. ජලපිවිසුම් කවුළු

මේ කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු කිරීම සඳහා යම් කාර්ය මණ්ඩලයක් සිටින්නට ඇත. මේ කාණු පද්ධතිය කෙළවර වන්නේ නගරයෙන් පිටත ඇති විශාල වළවල් වලිනි. අප ජලය එක්වීම පිණිස මේ වළවල් සකස් කර ඇත.

  • පහන් කුලුනු පද්ධතිය

මාර්ග දෙපස පහන් කණු පද්ධතියක් ද තිබී ඇති බවට සාධක තිබේ.මේවා ගිතෙලින් දැල්වූ පහන් විය යුතුයැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. නාගරික ප්‍රදේශ වල රාත්‍රී කාලයේ පවා ජනයාගැවසීම මීට හේතුවකි. නාගරික භාවයට මෙය ද කදිම නිදසුනකි.

  • නිවාස පද්ධතිය

නාගරික ප්‍රදේශාශ්‍රිතව මහල් නිවාස ද ඉදිකර තිබේ. බොහෝ නිවාස වල මැද මිදුලක් ද සහිත ය. නිවාස සකස් කර ඇත්තේ ද විශේෂ ආකාරයකට ය. නිවාස ඒකාකාරී වුව ද  ඒවා නාගරික දිවියට සුදුසු ලෙස සකස් කර තිබේ. උපයෝගිතාවාදය අනුව මේවා ඉදිකර තිබේ. එනම් අනවශ්‍ය සැරසිලි ආදියෙන් තොරව අවශ්‍ය අංග පමණක් ඇතිව සහ ශක්තිමත්ව ඉදිකර ඇත. බාහිර අලංකාරයෙන් තොර වන නමුත් මේවා සුඛෝපභෝගීය. ප්‍රධාන මාර්ගය දෙසට දොර ජනේල සවිකර නැත. අන්ධ බිත්තිය (blind wall)  ඇත්තේ ඒ දෙසට ය. නිවස තුළට අපිරිසිඳු වාතය, දූවිලි ආදිය ඇතුළු වීම වැළක්වීම පිණිස එය එසේ කරන්නට ඇත.

 

  • පොදු ගොඩනැගිලි පද්ධතිය

පොදු ගොඩනැගිලි සහිත බව ද නාගරික ලක්ෂණයකි. නගරයක සියල්ලන්ට පෞද්ගලිකව යම් යම් ඉදිකිරීම් කර පරිහරණය කරන්නට තරම් ඉඩකඩ පහසුව නොමැති විට පොදු දේපලක් පරිහරනය කරන්නට සිදු වේ. උදාහරණයක් ලෙස සෑම නිවසක ම ධාන්‍ය ඇඹරුම් ස්ථානයක් ඉදිකිරීමට තරම් ඉඩකඩ නොමැති නිසා පොදු ධාන්‍ය ඇඹරුම් ස්ථානයකට යොමු වීම ස්වභාවික ය. ඉන්දුනිම්නයේ එවැනි ඉදිකිරීම් ද තිබේ.  හරප්පාවේ ධාන්‍යාගාරය උදාහරණයකි. මීටර 45×15 ප්‍රමාණයේ මෙම ගොඩනැගිල්ල ධන්‍ය තැන්පත් කළ ගබඩාවක් සේ මූලිකව භාවිත තර ඇත. මීට අමතරව ධයන්‍ය කෙටීම සඳහා සකස් කළ වංගෙඩි වැනි වළවල් ද හමු වී තිබේ. මෙහි තිබී තිරිඟු, බාර්ලි වැනි ධාන්‍ය අවශේෂයන් ද හමු වී තිබේ.ධාන්‍ය තැන්පත් කිරීමට තරමක් උස් වේදිකාවක් වැනි ස්ථානයක් භාවිත කර තිබේ. මොහෙන්ජොදාරෝවේ ඇති අඩි 169ක් දිග අඩි 139ක් පළල ආයත චතුරස්‍රාකාර ගොඩනැගිල්ල ද ධාන්‍යාගාරයක් යැයි විශ්වාස කෙරේ.   මෙම ධාන්‍යාගාරයේ සේවකයින් නතර වී රැකියාවේ නිරත වූ බවට සාධක තිබේ. ඔවුන් වෙනුවෙන් ඉදි කළ සේවක කුටි 14ක නටබුන් හමුවී තිබේ.මේ එක් කුටියක් කොටස් දෙකකින් යුත් වෙයි. ධාන්‍ය ඇඹරීම සඳහා සකස් කළ මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාත්මක කරන ඇඹරුම් යන්ත්‍ර සවිකර තිබූ ස්ථාන ලෙස හඳුනා ගත් වෘත්තාකාර වේදිකා කිහිපයක් ද මේ තුළ ඇත. මීට අමතරය කොරිඩෝර හෙවත් සක්මන් පථ ද මේ තුළ ඇත. මෙම ධාන්‍යාගාරයේ ඇඹරීම සඳහා වන ධාන්‍ය නගරයට පිටින් තිබූ වගා බිම් වලින් ගෙන එන්නට ඇත. ධාන්‍ය ඇඹරුම්හලේ විශාලත්වය අනුව පෙනෙන්නේ දෛනිකව විශාල ධාන්‍ය ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කළ බවයි. නාගරික ජනගහනය අධික වීම නිසා එසේ කරන්නට ඇත.

මොහෙන්ජොදාරෝවේ  ඇති අනෙක් විශේෂ ඉදිකිරීම වන්නේ මහා නාන තටාකය යි. නාන තටාකය යැයි කීව ද මේ පිළිබඳව විවිධ මත ඇත.  තටාකය සහිත ගොඩනැගිල්ල අඩි 180×108 ප්‍රමාණයේ එකකි..අඩි 39ක් දිග අඩි 23ක් පළල මෙම තටාකයේ ගැඹුර අඩි 8කි. මෙය ජලවන්දනා ස්ථානයක් යැයි ද, පිහිනුම් තටාකයක් යැයි ද මත පවතී. නමුත් මෙහි ප්‍රමාණය අනුව පෙනී යන්නේ මෙය නූතන පිහිනුම්තටාකයක් බඳු එකක් වීමට වැඩි ඉඩක් ඇති බව යි. මේ වටා කුඩා කාමර පෙළක් ද ඇත. මෙය ජල වන්දනා ස්ථානයක් නම් මේ කුටි පූවකවරුන්ගේ කුටි විය යුතු ය. මෙය පිහිනුම් තටාකයක් හෝ නාන ස්ථානයක් නම් මේ කුටි ඔවුන්ගේ ඇඳුම් මාරුකිරීම වැනි පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කළ කුටි වේ.තටාකයට ජලය පිරවීමට වෙනම ම මාර්ගයක් ද(බෝක්කුවක් වැනි) තිබී ඇත.

මොහෙන්ජොදාරෝ වේ ආනක් සැලකිය යුතු ඉදිකිරීම වන්නේ රැස්වීම් ශාලාව යි. මෙය වර්ග මීටර 24කින් යුතු ගොඩනැගිල්ලකි. එක් පෙළකට කණු 4ක් බැගින් යුතු කුලුනු පේළි 5කින් යුක්ත මෙහි එම කුලුනු ගොඩනගා ඇත්තේ පිළිස්සූ ගඩොලිනි. මෙය නගර පාලක සභාවේ රැස්වීම් ශාලාව විය හැකි අතර නගරයේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව භාර නිළධාරියාගේ කාර්යාලය ද මෙහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මොහෙන්ජොදාරෝ වේ අනෙක් සැලකිය යුතු ඉදිකිරීම වන්නේ රැස්වීම් ශාලාව යි. මෙය වර්ග මීටර 24කින් යුතු ගොඩනැගිල්ලකි. එක් පෙළකට කණු 4ක් බැගින් යුතු කුලුනු පේළි 5කින් යුක්ත මෙහි එම කුලුනු ගොඩනගා ඇත්තේ පිළිස්සූ ගඩොලිනි. මෙය නගර පාලක සභාවේ රැස්වීම් ශාලාව විය හැකි අතර නගරයේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව භාර නිළධාරියාගේ කාර්යාලය ද මෙහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

  • ඇතුළු නගරය

ඉන්දුනිම්න ප්‍රධාන නගර ත්‍රිත්වයේ ම ඇතුළු නගර ද නිර්මාණය කර තිබේ. අඩි 30ක් පමණ උස් ප්‍රාකාරයකින් වට කළ එය ආරක්ෂිත එකකි. ප්‍රධාන නගර ත්‍රිත්වයේ ම බටහිර දෙසට වන්නට ඇතුළු නගර නිර්මාණය කර තිබේ. මොහෙන්ජොදාරෝවේ ඇතුළු නගරය තුළ මාළිගයක යැයි සැලකෙන ගොඩනැගිලක් ද ඉදිකර තිබේ. එය අඩි 230×78 ප්‍රමාණයේ එකකි. රඛිගාර්හි ඇතුලු නගරය මොහෙන්ජොදාරෝවේ මෙන් තුන් ගුණයක් විශාලය. හරප්පාවේ මෙන් දෙගුණයක් විශාල ය.

ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් තවත් නගර ගණනාවක් තිබී ඇත. නමුත් ඒවා ප්‍රධාන නගර ත්‍රිත්වය තරම් විශාල නොවේ. ලෝතාල්, රූපාර්, චන්හුදාරෝ, කලිබන්ගන්, රංග්පූර්, කුණාල්, බනාවලී, ධොලවීරා, බලාකොට්, කොට්ඩිජි, අල්ලාර්දිනෝ, දෙසල්පූර්, වැනි නගග දැනට පුරාවිද්‍යාත්මකව සොයාගෙන තිබේ.

 

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආර්ථික තත්ත්වය

ඉන්දුනිම්න වැසියන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කොටස් හතරක් හඳුනාගත හැකිය.

  • කෘෂිකර්මය
  • සත්ත්ව පාලනය
  • දේශීය හා විදේශීය වෙළඳාම
  • කර්මාන්ත, වෘත්තීන් හා විවිධ ශිල්ප

 

  • කෘෂිකර්මය

කෘෂි ආර්ථිකය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික කාර්යය විය. මෙහි ආර්ථික බෝග හා ආහාර බෝග ලෙස දෙවර්ගයක් හඳුනාගත හැකිය. ධාන්‍යාගාර දක්නට ලැබීමෙන් මෙහි සරු කෘෂිකර්මාන්තයක් පැවති බව සනාථ වේ. දැනට ඉන්දු නිම්න ප්‍රදේශය නිෂ්ශ්‍රීක තත්ත්වයේ පැවතිය ද පැරණි කාලයේ මේ ප්‍රදේශ ඉතා සරු සාරව පැවති බවට සාධක අතැයි The Wonder that was in India (අසිරිමත් ඉන්දියාව) කෘතිය රචනා කළ ඒ. එල් බෂාම් මහතා පවසයි. ඉන්දු නදියේ බැස්ම ඉතා මන්දගාමීව සිදු වූ ප්‍රදේශ වලදී මෙකී කෘෂිකර්මය ඉතා සරුවට සිදු වී ඇති බව පෙනී යයි. මොවුන්ගේ ප්‍රධාන වැවිලි බෝග වී අත්තේ තිරිඟු හා බාර්ලි ය. තිරිඟු තවමත් පන්ජාබයේ සරුවට වැඩෙන නිසා ඒ බව පිළිගන්නට හැකි ය. ඉන්දු නිම්නයේ ප්‍රධාන නගර දෙකෙහි ම පරිපාලන ගොඩනැගිලි ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිලි සමීපයේ ධාන්‍ය ගබඩා තිබී හමු වීමෙන් ද මේ බව සනාථ වේ. මේ ගබඩා වලින් ධාන්‍ය පොතු ද හමු වී තිබේ. මේ ස්ථාන වලට ඈත ප්‍රදේශ වල සිට ධාන්‍ය රැගෙනවිත් ඇ.ත්තේ ගංගා ඔස්සේ බව පැහැදිලි ය. මේ නිසා මෙකී ගබඩා ඉදිකර ඇත්තේ ගංගාවට මුහුණලා ය. ඉහතින් කී බෝග වලට අමතරව දොඩම්, කෙසෙල්, මෑ, ඉඳි සහ තල ද වගා කරඇති බවට සාධක හමු වී තිබේ. වී වගාව සුළු වශයෙන් සිදු කෙරුණු බවට සාධක හමු වී තිබේ. නාගරික සීමාවෙන් පිටත ප්‍රදේශ වල ගොවීන් වගා කළ ධාන්‍ය වලින් කොටසක් බදු වශයෙන් අයකර ගබඩා කර නාගරික ආහාර අවශ්‍යතා සපුරා ගන්නට ඇතැයි අනුමාන කෙරේ.

ආර්ථික බෝගයක් ලෙස හඳුනාගෙන ඇත්තේ කපු වගාව යි. ඉන්දුනිම්නයෙන් මිසර හා මෙසපොතේමියානු ප්‍රදේශ වලට අපනයනය කළ ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය අතර රෙදිපිළි ද වේ. මේ සඳහා අවශ්‍ය කපු හා පටපනු කෝෂ ඔවුන් වගා කළ බවට මේ වන විට සාධක හමු වී තිබේ.

  • සත්ත්ව පාලනය

සත්ත්ව පාලනයේ දී ඔවුන් ප්‍රධාන වශයෙන් ගවයා, කුකුළා, එළුවා හා බැටළුවා ඇති කර තිබේ. අදටත් මේ ප්‍රදේශයේ ජීවත් වන සින්ධි වර්ගයේ ගවයින් ඔවුන් විසින් එකල ඇතිකර තිබේ. ගවයා කිරි පිණිස මිස මස් පිණිස යොදාගත් වගට සාක්ෂි නැත.කෘෂි කටයුතු වලට සහය කරගැනීම පිණිසත් පස්ගෝ රසය ලබාගැනීම පිණිසත් ගවයා ඇතිකරන්නට ඇත. ඔවුන්ගේ මුද්‍රා වල ගවයා සහ එළුවාගේ රූප දක්නට ලැබේ. ගව රුව බහුලව ම දක්නට ලැබේ. කුකුළා, එළුවා සහ ඌරා මස් පිණිස ඇති කර ඇත. බර ඇදීම පිණිස ඔවුන් ඇසුරේ බයිසන් වර්ගයේ ගවයින් ද සිටි බව පිළිගැනෙයි. බැටළුවා ලෝම ලබා ගැනීමටත් මාංශ අවශ්‍යතා පිණිසත් ඇති කර තිබේ. ඌරන් ද ඇති කළ බවට සාධක තිබේ.

  • දේශීය හා විදේශීය වෙළඳාම

විදේශීය වෙළඳාම විශේෂ ආර්ථික කාර්යයක් විය. විදේශීය වෙළඳාමේ දී  ඔවුන් ප්‍රදේශ කිහිපයක් සමග ගනුදෙනු කළ බවට සාධක ලැබී තිබේ. මේ සඳහා ඔවුන් මුහුදු හා ගොඩබිම් මාර්ග භාවිත කර තිබේ.

  • මිසරය හා මෙසපොතේමියාව සමග මුහුදු මාර්ගයෙන් ද,
  • බලුකිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශ සමග හෙවත් බලුකිස්ථානයේ කුල්ලි-මේහි සභ්‍යත්වය සමග ගොඩබිම් මාර්ගයෙන් ද

ඔවුන් වෙළඳ සබඳතා පවත්වා ඇත.වෙළඳ කටයුතු සඳහා වෙනම ම වෙළඳ ශ්‍රේණියක් සිට ඇති බව ද විශ්වාස කළ  හැක. මෙසපොතේමියානු ලේඛන අනුව මෙලුන්හා (Meluhha) යනු ඉන්දුනිම්නයට අයත් නගරයක් බව සොයාගෙන තිබේ.

මීට අමතරවඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්ව අරාබි මුහුද ආසන්නයේ තිබූ සුක්තජෙන්දෝර් හා සුක්තකොහ් වරායන් ද කාතියවාර් ආසන්නයේ තිබූ ලෝතාල් වරාය ද විදෙස් වෙළඳාමේ දී යොදාගත් මධ්‍යස්ථාන වශයෙන් හඳුනාගනෙ ඇත.

නමුත් මොවුන් විශාල නෞකා භාවිත කළ බවට සාධක මෙතෙක් හමු වී නැත. වෙරළට සමීප-සමාන්තර මාර්ග ඔස්සේ, එනම් නොගැඹුරු මුහුදේ යාත්‍රා කළ ඔවුන් ඒ සඳහා භාවිත කළේ කුඩා යාත්‍රාවන් ය. ශිෂ්ටාචාරයට අයත් මුහුදු තීරයක් තිබුණ ද ඔවුන් මුහුද පිළිබඳ එතරම් උනන්දු වූ ජාතියක් නොවේ යැයි පුරා විද්‍යාඥයින් සාධක සහිතව ම පෙන්වා දී තිබේ. මෙතෙක් ඉන්දු නිම්නයෙන් හමු වූ මුද්‍රා 2300ක පමණ ප්‍රමාණය අතර ජල යාත්‍රා සහිත මුද්‍රා දක්නට ලැබෙන්නේ 10ක් තරම් සුළු ප්‍රමාණයක් වන අතර ඒවා ද ගංගාතරණයට යොදා ගත් කුඩා ජල යාත්‍රා වේ.

16 මුල් කර ගත් මිනුම් ක්‍රමයක් ඔවුන් භාවිත කිරීමෙන් පෙනී යන්නේ ඉතා ක්‍රමවත් වෙළඳාමක් පැවති බව යි. ඔවුන්ගේ මිනුම් ක්‍රමය 16, 32, 64 ආදී වශයෙන් 16හි ගුණාකාර වශයෙන් තිබී ඇති බව පුරාවිද්‍යාඥයින් සනාථ කර තිබේ. මීට අමතරව තරාදි හා බර කිරන පඩි පිළිබඳ සාධක ද හමු වී ඇත.

ලෝතාල් වරාය එකල මෙසේ තිබෙන්නට ඇත

දේශීය වෙළඳමේ දී භාණ්ඩ හුවමාරු ක්‍රමය භාවිතයට ගෙන ඇත. විදෙස් වෙළඳාමේ දී මුදල් ලෙස මුද්‍රා යොදාගත්තේ ද යන්න සැකසහිත ය. නමුත් බහුතරයක් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයින් පවසන්නේ ඔවුන් මේ මුද්‍රා විදෙස්ගත කළ තම වෙළඳ ද්‍රව්‍ය වල අන්‍යතාව සංකේතවත් කිරීම පිණිස රඳවනයක් (Tag) ලෙස යොදාගත් බව යි. මෙම මුද්‍රා මෙසපොතේමියාවේ ස්ථාන කිහිපයකින් ම ලැබී තිබේ. මිසරයෙන් ද හමු වී තිබේ. පර්සියන් බොක්කේ බාරේන් හා ෆයිලක් ප්‍රදේශ වල කැනීම් වලින් ද මෙවැනි මුද්‍රා විශාල ප්‍රමාණයක් හමු වී තිබේ. පර්සියන් බොක්ක යනු යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගා සමුද්‍රයට එක්වන ස්ථානය වන අතර මේ ගංගා ඔස්සේ ඉන්දු නිම්න වැසියන් යුප්‍රටීස්-ටයිග්‍රීස් ශිෂ්ටාච‍ාරය (මෙසපොතේමියානු ශිෂ්ටාචාරය) සමග වෙළඳ සබඳතා පැවත්වූ බවට මෙය කදිම සාක්ෂියකි. සුමර් හි කළ පුරාවිද්‍යාත්මක කැනීම් වල දී එහි ක්‍රි.පූ. 2300-2000 ස්ථරයේ තිබී හමු වූ ඉන්දුනිම්න මුද්‍රා ද විදෙස් වෙළඳාම පිළිබඳ සාක්ෂි වශයෙන් යොදාගත හැක. ඉන්දුනිම්න වැසියන් ද සුමේරියාවෙන් ලෝහ හා විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

ඉන්දුනිම්නයෙන් බහුල වශයෙන් ම අපනයනය කර ඇත්තේ පටපිලී හා ඇත්දත් ආදිය යි. දැව අපනයනය කළ බවට ද සුළු සාක්ෂි මෙසපොතේමියාවෙන් හමු වී තිබේ. කැම්බේ ප්‍රදේශයේ පබලු නිෂ්පාදනය කර ඇති බව සිංහල විශ්වකෝෂය අනුව නිගමනය කළ හැකිය. මේවා ද විදෙස් වෙළඳාම සඳහා යොදා ගන්නට ඇත. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් උම්මා ප්‍රදේශයෙන් හමු වී ඇති පටපිලී නෂ්ටාවශේෂ හා ඉන්දුනිම්න මුද්‍රාව අනුව ඉන්දුනිම්න වැසියන් මේ ප්‍රදේශ හා කළ ගනුදෙනු තවදුරටත් සනාථ වේ.

දේශීය වෙළඳාම සිදු කෙරී ඇත්තේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට විය යුතු ය. ගැල් වල පටවාගත් භාණ්ඩ වාණිජ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන්නට ඇත. මේ සඳහා සාක්ෂි වන්නේ ඉන්දුනිම්නයෙන් හමු වූ කුඩා ගැල් ආකෘතීන් ය. බයිසන් ගවයාට සමාන ජව සම්පන්න, නමුත් හීලෑ කළ කැලෑ ගවයින් යොදාගනිමින් භාණ්ඩ ප්‍රවාහනය කළහ. ප්‍රධාන හා සුළු නගර යා කරමින් වෙළඳ ජාලයක් වර්ධනය වී තිබී ඇත. ඔවුන් ඇතැම් අවස්ථාවල තම දෙමහල් නිවාස වල පහළ මාලය වෙළඳසැලක් වශයෙන් සකස් කර භාවිත කරන්නට ඇතැයි ද පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති.

 

ඉන්දු නිම්න වැසියන් මෙවැනි ජලයාත්‍රා භාවිත කළ බවට සාධක ලැබී තිබේ. මෙවැනි කුඩා තොටුපළ වලින් ඔවුන් ප්‍රධාන වරායන් දක්වාත් නාගරික ප්‍රදේශ දක්වාත් භාණ්ඩ හා කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කරන්නට ඇත.

මේ කුඩා මැටි කරත්තයකි. ඉන්දු නිම්න දරුවන්ගේ සෙල්ලම් උපකරණයකි. නමුත් මෙය ඉන්දුනිම්න වැසියන්ගේ ප්‍රවාහන කටයුතු වලට සාක්ෂියකි. මේ සෙල්ලම් උපකරණය ඔවුන් තැනූයේ එකල භාවිත වූ විශාල කරත්ත වල ආකෘති වශයෙන් බව පැහැදිලි වේ.  මෙවැනි කරත්ත වලින් ඔවුන් තම නිෂ්පාදන ග්‍රාමීය ප්‍රදේශ වලටත් ගොඩබිම් මාර්ග වලින් බලුකිස්ථාන කුල්ලි-මේහි සංස්කෘතිය පැතිර පැවති ප්‍රදේශ වලටත් ගෙන යන්නට ඇත.

  • කර්මාන්ත, වෘත්තීන් හා විවිධ ශිල්ප

ශිෂ්ටාචාරය පුරා පැතිර ඇති විශාල ඉදිකිරීම් ප්‍රමාණය අනුව ගඩොළු කර්මාන්තය පැවති බවත්, ලෝහයෙන් කළ ගෘහ උපකරණ  හා කෘෂි උපකරණ වලින් ලෝහ කර්මාන්ත පැවති බවත්, මැටි වලින් කළ පබළු ආභරණ ආදියෙන් පබලු කර්මාන්තය පැවති බවත්, රෙදි පිළි අපනයනය කිරීමෙන් පේෂ කර්මාන්ත පැවති බවත්, නිවාස ඉදිකිරීමේ දී දැව ආශ්‍රිත කටයුතු අවශ්‍ය වන නිසා දැව කර්මාන්ත පැවති බවත් නිලගමනය කළ හැක.මීට අමතරව මුතු කර්මාන්තය,ධීවර කර්මාන්තය, ඇත් දළ කර්මාන්තය, නෞකා හා බෝට්ටු කරුමාන්තය ආදිය ද තිබී ඇතැයි විශ්වාස කෙරෙයි. ලෝහ කාර්මිකයින්, ආභරණ කාර්මිකයින්, නැව් හා ඔරු පාරු තනන්නන්, කරත්ත ආදිය තනන්නන්, පෙදරේරුවන්, මාර්ග පවිත්‍ර කරන්නන්, නාගරික සේවකයින් ආදීන් සිටි බවට සාධක තිබේ.

 

ඉන්දුනිම්න සමාජය

දැනට අති පිළිගැනීම අනුව ඉන්දුනිම්න ශිෂ්ටාචාරය මානව සම්මිශ්‍රණයකින් යුතු නාගරික සමාජයකි. මෙහි වැසියන් ජීව විද්‍යාත්මක ආකාරයටත්, ආර්ථික තත්ත්වය අනුවත්, වෘත්තීන් අනුවත්, තනතුරු ආදිය අනුවත් වර්ගීකරණයක් කළ හැක.

ජීවවිද්‍යාත්මක වර්ගීකරණය

  • මොන්ගොලොයිඩ් (පූජකරුව?)
  • ඇල්පයින් (පූජකරුව?)
  • ආදි(ප්‍රෝටො) ඔස්ට්‍රොලොයිඩ්(නළඟන රුව)
  • මධ්‍යධරණී (කැණීම් වල දී සොයා ගත් මානව අවශේෂ)

ආර්ථිකය පදනම් කරගත් වර්ගීකරණය

  • ධනපතීන් (මහල් නිවාස වල ජීවත් වූ මොවුන් බොහෝ විට දෙස් විදෙස් වෙළඳාම් හැසිරවූ පිරිස් හෝ පාලක පන්තිය විය යුතු ය.)
  • මධ්‍යම ආදායම්ලාභීන් (තවලම්කරුවන් හා අඊ්‍යන්තර වෙළඳපළ වල වෙළඳකටයුතු කළ පිරිස්, ලියන්නන් වැනි පාලක පන්ති සේවකයින් )
  • අඩු ආදායම්ලාභීන් (ගොවි කම්කරු ආදීන්)

වෘත්තිය පදනම් කරගත් වර්ගීකරණය

 

  • ගොවියන්
  • සුළු වෙළෙන්දන්
  • ලියන්නන්
  • තවලම්කරුවන්
  • ආනයන අපනයන කටයුතු වල නිරත වූවන්
  • වළං කර්මාන්තකරුවන්
  • ගඩොල් කර්මාන්ත කරුවන්
  • රෙදි වියන්නන්
  • සිප්පිකටු හා මැණික් ආශ්‍රිත කර්මාන්තවල නිරත වූවන්
  • මාර්ග කම්කරුවන්

 

තනතුරු පදනම් කරගත් වර්ගීකරණය

  • පූජකයින්
  • පාලකයින්
  • පාලිතයින්

මේ ආකාරයේ වර්ගීකරණයකට ලක් වූ ඉන්දුනිම්න සමාජයේ අනෙකුත් තොරතුරු පහත ආකාරයේ තේමා යටතේ විස්තර කළ හැකි ය.

 

  • වාසස්ථාන හා ගෘහෝපකරණ
  • ඇඳුම් පැළඳුම්
  • ආහාර පාන
  • විනෝදාස්වාදය
  • සමාජ සිරිත්
  • පවුල

 

  • වාසස්ථාන හා ගෘහෝපකරණ

මේ වැසියන්ගේ වාසස්ථාන ප්‍රධාන වර්ග 2ක් දැකිය හැකි වේ. සාමාන්‍ය නිවාස හා මහල් නිවාස වශයෙනි. නිවාස ඉදිකර ඇත්තේ අවුවේ වියලා ගත් ගඩොලින් වුව ද නිවාස වල පාදම හා නාන කාමරය සඳහා යොදාගෙන ඇත්තේ පිළිස්සු ගඩොළුය.(මාර්ගාශ්‍රිත කාණු වලට ද පිලිස්සු ගඩොළු යොදාගෙන තිබේ.) එහෙත් මොහෙන්දොජාරෝ හා හරප්පා ප්‍රදේශ වල පිළිස්සු ගඩොලින් ම කළ නිවාස ද හමු වී තිබේ.නිවාස සඳහා ඔවුන් යොදා ගත් ගඩොළු නාගරික ප්‍රාකාර(City Walls) සඳහා යොදා ගත් ගඩොළු වලට වඩා කුඩා ය. පුරාවිද්‍යාඥයින් ඉන්දු වැසියන්ගේ නිවාස ගඩොළු හඳුන්වන්නේ 7X14X28 Cm ගඩොළු නමිනි. ඔවුන්ගේ නිවාස අවුවේ වියලාගත් ගඩොලින් තනා කපරාරු කර තිබී ඇත. එ කපරාරු මත රතු හා සුදු පැහැයන්ගෙන් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ශුභ සංකේත ඇඳ තිබේ. දොර හා ජැනේල ලීයෙන් තතා පියන්පත් සහිතව නිර්මාණය කර තිබී ඇත. ඒ පියන්පත් ද ලීයෙන් ම තනා තිබී ඇති අතර ඒවා අවශ්‍ය විට විවෘත කිරීමට පහසුවන අයුරින් නිමවා තිබී ඇත.එසේ නොමැති අවස්ථාවල ලී හෝ ගල් භාවිතයෙන් කළ ග්‍රිල් එකක් සහිතව ජනේල නිමවා ඇති අතර ඒවා පිටතින් පැදුරක් වැනි පැලැල්ලක් එල්ලා ආවරණය කර තිබී ඇත. ඒ වාතාශ්‍රයට බාධා නොවන අයුරිනි. ඇතැම් නිවාස වල පිටත බිත්ති ඒ අයුරින් ම තිබිය දී අභ්‍යන්තර බිත්ති වෙනස් කර අභ්‍යන්තර සැලසුම වෙනස් කළ අවස්ථා ද හමු වී තිබේ. ත නිවාස ලෙස පුරාවිද්‍යාඥයින් හඳුන්වන කුඩා තනි මහල් නිවාස කොටස් දෙකකට බෙදා තිබී ඇත. මැද මිදුලක් වට කොට සකස් කළ කාමර වලින් යුතු නිවාස වල පිවිසුම ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබී නැත. ඒ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම පිණිස ය.ධනවතුන්ගේ නිවාස වල කාමර වලට පිවිසීම සඳහා කුඩා කොරිඩෝවක් ඇති නිවාස ද තිබේ.

මැද මිදුල ඔවුන් බහුකාර්යයන් උදෙසා යොදාගෙන තිබේ. ධාන්‍ය සකස් කිරීම,පහසුවෙන් පරිභෝජනය කළ හැකි පරිදි පළතුරු හා එළවලු ගබඩා කිරීම, රෙදි සේදීම හා වේලීම, නූල් කැටීම, රෙදි විවීම, ඇඳුම් මැසීම, ආහාර පිසීම, ආහාර බුදීම, ක්‍රීඩා කිරීම පමණක් නොව ඇතැම් අවස්ථාවල නිදා ගැනීම පිණිස ද මේ මැද මිදුල භාවිත කර ඇත. මේ සියලු දේ එක ම අවස්ථෘවක දී සිදු කළේ ය යන්න ඉන් අදහස් නොවේ. ධනවතුන්ගේ නිවාස වල මැද මිදුල් කිහිපයක් ඇති අවස්ථා ද හමු වී ඇත. ගබඩා වශයෙන් භාවිත කළ කුඩා රවුම් හා ආයත චතුරස්‍රාකාර ඉදිකිරීම් විශේෂයක් ද ඔවුන්ගේ නිවාස වල තිබී ඇත. ඒවා ද ගඩොළු නිර්මාණ වන අතර ඉහළින් අත දමා ඒ තුළ ඇති යමක් ගැනීමට හැකි අයුරින් නිමකර තිබේ.

මෙම සෑම නිවසක ම නාන කුටියක් හා මුළුතැන් ගෙයක් තිබේ. මුළුතැන්ගෙයි ලිපක් ඇති අතර ඇතැම් ස්ථාන වලින් එහා මෙහා ගෙන යා හැකි ලිප් (PORTABLE HEARTH) ද තිබී හමු වී ඇත. මීට අමතරව ගංගාවෙන් තරමක් ඈත් ස්ථාන වල නිවාස වල ළිඳක් ද අනිවාර්යෙන් ම තිබී ඇත. මොහෙන්ජොදාරෝවේ ගංගාවෙන් ඈත් ප්‍රදේශ වලින් ළිං 700ක් පමණ හමු වී ඇතත් ගංගාවට සමීප හරප්පාවෙන් හමු වී ඇත්තේ ළිං කිහිපයක් පමණි.

හට්ටි, මුට්ටි, බරණි,, නෑඹිලි, ඇතිළි, කලස් ආදිය බොහෝ හමු වී තිබේ.වර්ණ ලැන්වූ මුඵළුතැන්ගෙයි උපකරණ ද හමු වී ඇති අතර ඒවා ඇත්දළ, සිප්පි හා ලෝකඩ යොදාගෙන ඇත.පුටු, කනප්පු, ඇඳන් ආදිය ලී හා වේවැලින් තනන්නට ඇති වග පිළිගැනේ.

  • ඇඳුම් පැළඳුම්

මොවුන් කපු, සම් ලෝම ඇඳුම් භාවිත කර ඇත.මුල් කාලයේ මේ සියල්ල ඔවුන් නිපදවා ඇතත් පසුකාලීනය ඇතැම් රෙදි වර්ග මෙසපොතේමියාවෙන් ගෙන්වා තිබේ. ඇඳුම් වර්ණ කිරීමට හා සැරසිලි මෝස්තර වලින් හැඩ කිරීමට ද ඔවුන් තුළ හැකියාවන් තිබී ඇත. සුප්‍රකට පූජක රුව ඇඳි සළුව මේ සඳහා කදිම උදාහරණයකි. එය තිපෙති රටාවකින් සරසා තිබේ. එහෙත් පුරාවිද්‍යාඥයින් පොදුවේ විශ්වාස කරන්නේ මෙවැනි සළු පැළඳුවේ ප්‍රධාන පූජකයින් හා පාලකයින් පමණක් බවයි. සාමාන්‍ය ජනයා පළඳින ලද්දේ සාමාන්‍ය සරළ ඇඳුම් ය. බොහෝ විට ඒවා කටින අවස්ථාවේ ස්වභාවයෙන් ම ඇතිවන වර්ණ වලින් පමණක් යුතු මෝස්තර රහිත නිර්මාණ විය හැක. පිරිමින්ගේ ඇඳුම වත්මන් දෝතියට සමාන ව තිබී ඇත. කාන්තාවන් උරව වැසෙන රෙදි කඩක් හා කෙටි සායකට සම ඇඳුමක් ඇඳ තිබේ.  ඇතැම් කාන්තාවන් පබළු හුයක්(a substantial belt made of strings of beads) ද භාවිත කර ඇත.

හරප්පාවෙන් සොයාගෙන ඇති සාධක අනුව පෙනී යන්නේ ඇතැම් ආභරණ ස්වකීය සමකාලීනයන්ගෙන් වෙනස් වීම, හෝ උසස් වීම පිණිස භාවිත ඇර ඇති බවයි. ලපිස් ලැසුලි ලෙස පුරාවිද්‍යාඥයින් හඳුන්වන පාෂාණ විශේෂය ද ඔවුන් ආභරණ නිමවීමට භාවිත කර තිබේ. දෛනික භාවිතය සඳහා ඇත් දතින් හා සත්ත්ව අස්ථි වලින් කළ ආභරණ නිපදවා ගත් ඔවුන් විශේෂ අවස්ථා සඳහා රන්, රිදී, තඹ, ලෝකඩ, කානලියන් පබළු(Carnelian beads), ස්ටීටයිට් වලින් කළ කුඩා පබළු (Steatite microbeads) සෙරමික් පබළු හා පාෂාණ වලින් කළ ආභරණ භාවිත කර තිබේ. කාන්තාවන් කොණ්ඩා විලාසිතා ද සිදුකර ඇති බව හමු වී ඇති මුර්ති වලින් පෙනී යයි. පිරිමින් කොණ්ඩය වවා සිටි අතර උඩු රැවුළ කපා යටි රැවුල වැවීමේ විලාසිතාවක් තිබී ඇති බව මුද්‍රා වලින් පෙනී යයි. චන්හුදාරෝවෙන් පුයර පෙට්ටි හා ආලේපන පෙට්ටි හමු වී තිබීමෙන් පෙනී යන්නේ ඔවුන් රූපාලංකාරයට ද නැඹුරු වී සිටි බව යි. පිරිමින් රැවුල කැපීම සඳහා ලෝකඩ දැලිපිහි භාවිත කර ඇත.

  • ආහාර පාන

කෘෂි නිෂ්පාදන ඔවුන්ගේ ප්‍රධාන ආහාර වී ඇත. ධාන්‍ය වගා කළ අතර තිරිඟු හා යව ප්‍රධාන ආහාර බෝගය විය. මේ පිළිබඳ සාධක ඉන්දුනිම්යේ බොහෝ ප්‍රදේශ වලින් ලැබී තිබේ.ලෝතාල් හා රංග්පූරි වලින් ලැබී ඇති සාධක වලින් පෙනී යන්නේ වී වගාව ද සිදු කෙරී ඇති බව යි. මේ අනුව ඔවුන් ගේ ප්‍රධාන ආහාරය වී ඇත්තේ ධායණ වර්ගයන් වග පැහැදිලි ය. මීට අමතරව මාෂ බෝල ද වගා කර ඇත. ඒ අතර ප්‍රධාන වන්නේ තල වගාව යි. ආහාරය සඳහා මෙන් ම වීථි ලාම්පු දැල්වීමට ද ඔවුන්ට තල ආශ්‍රිත තෙල් අවශ්‍ය වී ඇත. ඔවුන්  ධීවර කර්මාන්තයේ ද යෙදුණු අතර ලැබී ඇති මැටි බඳුන් වල සැරසිලි අතර මාළු කටු සැරසිලි තිබීමෙන් මේ බව සනාථ වේ. මුද්‍රා වනල ඇති රූප අතර දුණු හා ඊතල යොදා ගනිමින් මුවන් එළුවන් දඩයම් කරන ආකාර ඇති නිසා දඩයමින් ලබාගත් මාංශ ද ඔවුන්ගේ ආහාර අතර තිබෙන්නට ඇති වග පෙනී යයි. දඩයම සඳහා උගුල් ඇටවීම හා බල්ලන් යොදා දඩයම් කරවීම ද තිබී ඇත.

  • විනෝදාස්වාදය

ශිෂ්ටාචාර ප්‍රදේශයේ කැනීම් වල දී ලැබී ඇති ක්‍රිඩා භාණ්ඩ අනුව පෙනී යන්නේ ඔවුන් විනෝදාස්වාදය පිණිස විවිධ ක්‍රිඩාවන්හි නිරත වූ බවයි. ඒරියකඳ සහිතව ගොනුන් බැඳි කරත්ත, තනි ගොනුන් බැඳි කරත්ත,  නූලක් දිගේ චලනය කළ හැකි වඳුරු රූප, දාදු කැට, වත්මන් බෝනික්කන්ට සමානව අත් පා ආදිය චලනය කළ හැකි අයුරින් සකස් කළ මානව රූප ආදිය  හමු වී තිබේ. මේ සියල්ලෙන් ප්‍රධාන වශයෙන් පෙනී යන්නේ ඉන්දුනිම්න වැසියන් වඩාත් ප්‍රිය කර ඇත්තේ ගෘහාශ්‍රිත ක්‍රිඩාවන්ට බව යි.

  • සමාජ සිරිත්

අවමංගල කටයුතු සම්බන්ධයෙන් දැනට  ලැබී ඇති සාධක අනුව ඔවුන්ගේ සමාජ සිරිත් යම් පමණක් අවබෝධ කරගත හැක. මුළු සිරුර ම භූමදාන කිරීම, මළ සිරුරු සතුන්ට අනුභව කරන්නට දී අවශේෂයන් වළ දැමීම, ආදාහනය කර භෂ්ම හෝ අස්ථි කොටස් බරණියක බහා තැන්පත් කිරීම යන ක්‍රම 3ට ම ඔවුන් අවමංගල කටයුතු සිදුකර ඇත. මළසිරුරු හෝ අවශේෂ කොටස් සමග මාල, වළලු හා කුඩා ප්‍රතිමා ආදිය ද ඔවුහූ මිහිදන් කළහ. ඔවුන්ගේ සමාජයේ පැවති වෙනත් සිරිත් කෙසේ වුව ද, ඔවුන් පෞද්ගලිකත්වයට වැඩි ඇල්මක් දැක්වූ පිරිසක් වූහ. නමුත් ඔවුන් ඒ පෞද්ගලිකත්වය රකින අතර ම සමාජ සබඳතා ද ආරක්ෂා කරගත් හ.

  • පවුල

ඉන්දුනිම්න වැසියන් ගේ පවුල බොහෝ විට න්‍යෂ්ටික පවුලකි. එනම් එක් නිවසක එක් පවුලක් පමණක් ජීවත් වී ඇත. නමුත් ධනවතුන්ගේ විශාල නිවාස වල විස්තෘත පවුල හෙවත් එක්ව වාසය කරන පවුල් කිහිපයක් විසූ බවට සාධක තිබේ.

ඉන්දු නිම්නයේ ආගමික විශ්වාස
ඕනෑම ශිෂ්ටාචාරයක ආගමික ඇදහිලි විශ්වාස  ඇතිවන්නේ ශිෂ්ටාචාරයේ ආරම්භවී ඉතා සුළු කලකට පසුව ය. මිනිසාට විශ්වාස කළ නොහැකි හා අවබෝධ කරගත නොහැකි ස්වභාවික වස්තු හා සිද්ධීන් ආගමක මුල් අවස්ථාවට බලපාන අතර ඒවා අවබෝධ කරගැනීමත් සමග දාර්ශනික ආගම් බිහි වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික විශ්වාස පිළිබඳ විමසීමේදී ද මෙම සත්‍යය වැටහේ. ඉන්දු නිම්නයේ පදනම වැටුණු ආගම් පසුකාලීන දාර්ශනික ආගම් වලට පදනම වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉන්දියාවේ බිහි වූ බුදු දහම හා හින්දු දහම සඳහා පදනම් වී ඇත්තේ මේ පසුබිම යි.

මෙම ශිෂ්ටාචාරයේ පැවති ඇදහිලි, වන්දනා ක්‍රම, විශ්වාස හා වෙනත් පුදසිරිත් පිළිබඳ කරුණු උකහාගැනීමට අපට ආධාර වන්නේ ප්‍රතිමා මුද්‍රා හා ගොඩනැඟිලි අවශේෂයන්ය. ඒ අනුව මෙම ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස හා ඇදහිලි පුදසිරිත් පහතාකරයට ගොනු කළ හැකිය.

  1. ජගන්මාතා වන්දනය හෙවත් මව් දෙවඟන පිදීම
  2. පුරුෂ දෙවියෙකු පිදීම
  3. ලිංග හා යෝනි වන්දනාව
  4. ජල වන්දනාව
  5. වෘක්‌ෂ වන්දනාව
  6. සත්ත්ව වන්දනාව
  7. නාග රූප ඇති නිසා නාග වන්දනාවද තිබෙන්නට ඇතැයි අනුමාන කරයි.
  8. ජගන්මාතා වන්දනය හෙවත් මව් දෙවඟන ප්‍රතිමාව

සශ්‍රීකත්වයේ මව් දෙවඟන වශයෙන් සැලකූ ජගන් මාතාවට වන්දනා කිරීම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති ප්‍රමුඛ පෙළේ ආගමික සංස්‌කාර විධියක්‌ වශයෙන් හැඳින්විය හැකිය.මෙම රූප හමු වී ඇති ආකාර කිහිපයකි.

  1. කන්‍යා අවස්ථාව
  2. ගර්භනී අවස්ථාව
  3. දරුවන්ට කිරි දෙන මාතෘ අවස්ථාව

මෙම වන්දනාව ඉන්දු නිම්න ශිෂ්ටාචරයේ පමණක්‌ නොව ඒ හා සමකාලීන ඊජිප්තුව, පලස්‌තීනය, මෙසපොතේමියාව, ට්‍රාන්ස්‌කැස්‌පියාව, සුළු ආසියාව ආදි සභ්‍යත්වයන්හිද උසස්‌ අයුරුන් පැවතී ඇත. ඉන්දු නිම්නයෙන් සොයා ගෙන ඇති ප්‍රතිමා හා මුද්‍රාවලට අනුව ටෙරාකොටාවලින් හෙවත් පුළුස්සන ලද මැටි වලින් තැනූ අර්ධ නිර්වස්‌ත්‍ර ස්‌ත්‍රී මූර්ති බොහොමයක්‌ හමු වී ඇත. ඇතැම්විට මෙම රූප බඳ පටියකින් හා කුඩා රෙදි කැබැල්ලකින්ද, හිස්‌ වැසුමකින්ද සරසා ඇත. එපමණක්‌ නොව එක්‌ මුද්‍රාවක දෙකකුල් පුළුල් කරගත්, නග්න ස්‌ත්‍රී රූපයක ගර්භාෂයෙන් හෝ යෝනි මාර්ගයෙන් කුඩා පැලයක්‌ මතුවන ආකාරක්‌ දක්‌වා ඇත. මේ මුද්‍රාවට අනික්‌ පැත්තේ දෑකැත්තක්‌ වැනි ආයුධයක්‌ අතැතිව සිටින මිනිසෙකුගේ රූපයක්‌ද දෙ අත් ඔසවාගෙන හිඳගත් ස්‌ත්‍රියකගේ රූපයක්‌ද දිස්‌වේ. මේවා ආශ්‍රයෙන් පෘථිවි මාතාව පිදීම පවතින්නට ඇතැයි අනුමාන කරයි. එසේම සශ්‍රීකත්වය සඳහාත් මේ සමාජ තුළ වැඳුම් පිදුම් පැවති බවත් ඇතැම් විට බලි බිලි පුජා පවා පවත්වන්නට ඇතැයිද අනුමාන කළ හැකි බව මහාචාර්ය එච්.ටී බස්‌නායක පවසයි. ඉන්දු නිම්නයෙන් ස්‌වරූපත්‍රයකින් යුතු ස්‌ත්‍රි රූප රාශියක්‌ හමු වී ඇත. ඒ අතර පහත ඒවා මේ සා වැදගත් වේ.
1. දෑත වළලුවලින්ද ගෙල මාල වැනි ආභරණවලින්ද ඉඟටිය පටි වැනි දේකින්ද සැරසුණු දණහිස දක්‌වා ඇති රෙද්දක්‌ද හිස්‌ වැසුම් විශේෂයකින් ආවරණය කරන ලද ස්‌ත්‍රී රූප
2. දරුවකු සුරතින් ගෙන කිරී පෙවීම නිරූපණය කරන රූප හා ගර්භිණී රූප
3. තැටි වැනි දෙයක්‌ අතින් ගෙන සිටින ආකාරයේ රූප
පූර්ව වෛදික යුගයේ වූ මෙම ජගන් මාතා වන්දනයට පශ්චාත් වෛදික යුගයේද වැදගත් තැනක්‌ හිමි විය. එහිදී මව් දෙවඟන විවිධ ස්‌වරූපවලින් පෙනී සිටින අතර පාර්වතී, මහා දේවී, සාතී, ගෞරී ආදි නම්වලින් ඇගේ යහපත් බවද දුර්ගා, කාලි හා චණ්‌ඩි යන නම්වලින් ඇගේ බියකරු බවද අඟවන බව සඳහන් වේ.

2. පුරුෂ දෙවියෙකු පිදීම
මුහුණු තුනකින් යුතු හිසෙහි අං දෙකක්‌ ඇති අවටින් සතුන් පිරිවරා යෝගී ආකාරයෙන් සිටින පිරිමි දෙවියෙකුගේ රූපයක්‌ ඉන්දු නිම්න සභ්‍යත්වයෙන් හමු වූ මුද්‍රා කිහිපයකින් සොයාගෙන ඇත. එම මුද්‍රාවල ඇතා, කොටියා, රයිනෝසිරස්‌, හා මී ගොනා යන සතුන් සතර පසින්ද මුවෙකුගේ රූපයක්‌ ආසනය යටින් ද දිස්‌වේ.

සර් මෝර්ටිමර් විලර්, සර් ජෝන් මාර්ෂල්, බෙරීඩේල් කීත් වැනි ප්‍රතීචීන පඬිවරු පවසන්නේ මෙම යෝගී රූපයෙන් නිරූපණය වන්නේ පශ්චාත් වෛදික යුගයේ නිරූපණය වූ ශිව දේව වන්දනාව බවයි. එසේම ශිව, තපස්‌වි, මහායෝගි යන නම්වලින් පශ්චාත් වෛදික සංස්‌කෘතියේ ශිව දේවියා ඇදහීම පැහැදිලිව දක්‌නට ලැබේ.

3. ලිංග හා යෝනි වන්දනාව
ලිංග පුජාවද ශිව හා සම්බන්ධව පැවැති ආදීකාලීන පුජාවිධි ක්‍රමයකි. ත්‍රිකෝණාකාර හා කවාකාර ගල්, යෝනි හැඩයට නිමවී ඇති ගල් කැබලි මඟින් ලිංග පුජාවද පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඒ බව ලිංග හා යෝනි සංකේතිත ගල්මුදු සහ ගල් පොතු රාශියක්‌ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් සොයාගෙන තිබීමෙන් ප්‍රකටවේ. මෙම වන්දනාව මගින් සශ්‍රිකත්වය නිරූපිත බවට ද මතයක්‌ පවතී. මෙහි ලිංගය මගින් මහාදේවියාත්, යෝනිය මඟින් ජගන්මාතාවත් සංකේතවත් කරන්නට ඇතැයි සැලකේ.

මෙම වන්දනාව වෛදික ආර්යයෝ සෘග්වේදයේ ඉදිරිපත් කරන “රේතස” සංකල්පයට සමානය. වැස්‌සත් සමග ගස්‌වැල්වලද රේතසය තැන්පත් වන අතර එමගින් ගස්‌වැල් ද ගැබ් ගන්නා බව වෛදික මතයයි. සෘග්වේදයේදී මෙය “විහ්න දේවාඃ” වශයෙන් සඳහන් වේ.

4. ගිනි දෙවියා පිදීම, ජල වන්දනාව,
ඉරු දෙවියා වන්දනාමාන කිරීම මෙම වන්දනා ක්‍රමද මෙම ශිෂ්ටාචාරයේ පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඒ බව මෙම ශිෂ්ටාචාරයෙන් ලැබී ඇති පහත සාධකවලින් මනාව පිළිබිඹු වේ.

1. ආයතාකාර බරාඳය බිත්තිවලින් වටකරන ලද කොටසක්‌ අවශේෂයන් අතර තිබී හමු වී ඇත. ඇතැම් විට මෙය වෛදික යුගයේ තනන ලද අල්තාර මෙන් බලිබිලි සඳහා යොදාගත් ස්‌ථානයක්‌ යෑයි අනුමාන කළ හැකිය.

2. ඉන්දු නිමින ශිෂ්ටාචාරයට අයත් සෑම නිවසකම ළිඳක්‌, නාන කමරයක්‌ තිබූ බවට තොරතුරු ලැබී තිබුණද මොහොන්ජෝදාරෝවෙන් හමු වූ මහා නාන තටාකයෙනුත් එය සැලසුම් කර ඇති ආකාරයෙනුත් පෙනී යන්නේ ජලයට ගරු සැලකිලි දැක්‌වූ ශිෂ්ටාචාරයක ලක්‌ෂණයි. මෙම නාන තටාකයේ ඉවුරුවල පහන් දල්වන ලදැයි සැලකිය හැකි ආකාරයේ කුහරද හමු වී ඇත. එසේම මෙම ශිෂ්ටාචාරයේ නගර නිර්මාණයේදී ජල ප්‍රවාහනය සඳහා නිම කොට තිබූ උපක්‍රම දෙස බැලීමෙන්ද පසක්‌ වන්නේ මෙම ශිෂ්ටාචාරයේ ජලය ශුද්ධ වස්‌තුවක්‌ වශයෙන් සැලකූ බවයි. පවිත්‍ර කිරීම සඳහා ජලයෙන් වන උපකාරීත්වයත්, මිනිස්‌ ජීවිතයට ජලය පිහිට වන ආකාරයත් සලකා මෙසේ ජලය පුජනීයත්වයෙන් සලකන්නට ඇතැයි අනුමාන කළ හැකිය. සෘග් වෛදික ආර්යයෝද වර්ෂාව දේවත්වයෙන් සලකා ඇති අයුරු සෘග්වේදයේ සූක්‌ත පරීක්‌ෂා කිරීමෙන් දැකගත හැකිය.

3. ස්‌වස්‌තිකය හා චක්‍රය හිරුගේ සංකේතයයි. බැබිලෝනියාවේත් මෙය ආගමික සංකේතයක්‌ වශයෙන් යොදාගෙන තිබේ. මෙම සංකේත ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන්ද හමු වී ඇත. එහෙයින් සූර්ය වන්දනාවද මෙම ශිෂ්ටාචාරයේ පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය.

5. වෘක්‌ෂ වන්දනාව
මෙම ශිෂ්ටාචාරයෙන් ලැබී ඇති මුද්‍රා පරීක්‌ෂා කිරීමේදී වෘක්‌ෂ වන්දනාව දෙයාකාරයකට පැවති බව පෙනේ. එනම්,

1. වෘක්‌ෂයට පමණක්‌ පුද පුජා කිරීම

2. දෙවිකෙනකුගේ වාසස්‌ථානයක්‌ වශයෙන් සලකා වෘක්‌ෂයට පුද පුජා කිරීම වශයෙනි.
ගස වටා බැම්මකින් වට කරන ලද රූපයක්‌ දිස්‌වෙන මුද්‍රාවක්‌ ලැබී තිබේ. එයින් වෘක්‌ෂයට පමණක්‌ වන්දනාමාන කළ බව සිතිය හැකිය. ගසක අතුපතර ඇති නග්න දේවතා රූපයක්‌ සහිත මුද්‍රාවකින් හා ඊට මිනිසෙකු වන්දනාමාන කිරීමෙන් පසක්‌ වන්නේ දෙවියෙකුගේ වාසස්‌ථානය වශයෙන් සලකා වෘක්‌ෂයට වන්දනාමාන කළ බවයි.

6. සත්ත්ව වන්දනාව
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් සොයාගෙන ඇති අස්‌වාභාවික අඩ මිනිස්‌ රූප හා අද්භූත සත්ත්ව රූප මගින් මෙකල සත්ත්ව වන්දනාව පැවති බවටද කරුණු උකහාගත හැකිය. එහෙයින්ම සත්ත්ව වන්දනාව මෙම ශිෂ්ටාචාරයට පොදු වූ ඇදහිල්ලක්‌ වශයෙන් පැවති බවට සාධක තිබේ. සතුන් දෙවිවරුන් සමග සිටීම, සතුන් දෙවිවරුන්ගේ වාහන වශයෙන් සලකා තිබීම, මිනිස්‌ රූප හා මිශ්‍ර සත්ත්ව රූප හමුවී තිබීම ආදි සාධක නිසා සත්ත්ව වන්දනාව පැවති බව තහවුරු වේ.

කඟවේනා සහ වෙනත් මිථ්‍යා සතුන්ද, මී ගොනා, ඇතා, කොටියා, ගවයා වැනි සතුන්ද මුද්‍රාවල දක්‌වා තිබීමෙන් එම මුද්‍රා වන්දනීයත්වයකට හෝ ගරු සැලකිල්ලකට ලක්‌ වූ මුද්‍රා වශයෙන් සැලකිය හැකි බව මහාචාර්ය එච්.ටී. බස්‌නායක පවසයි.

පසුකාලීනව නොයෙක්‌ දෙවිවරුන්ගේ වාහන වශයෙන් සත්ත්වයන් සැලකීමද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආභාසයෙන් සිදු වූවක්‌ බව ඇතැම් විචාරකයන්ගේ මතයයි.

7. නාග රූප ඇති නිසා නාග වන්දනාව තිබී ඇත
හිsඳි දේව රූපයක හිස උඩින් පෙනය විහිදුවාගත් නාගයෙකුගේ රූප දැක්‌වෙන මුද්‍රාවක්‌ ලැබී ඇති හෙයින් නාග වන්දනාව ද මෙම ශිෂ්ටාචාරයේ ආගමික විශ්වාසයන් අතර පවතින්නට ඇතැයි අනුමාන කළ හැකි බව උගතුන්ගේ මතයයි.
උක්‌ත කරුණු අනුව පසක්‌ වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ විවිධ ඇදහීම් හා විශ්වාස රාශියක්‌ පැවැති බවයි. නමුත් ඉන් එකදු වන්දනා ක්‍රමයක්‌, ඇදහීමක්‌ හෝ විශ්වාසයක්‌ අනිකුත් වන්දනා ක්‍රම ඇදහීලි අභිභවා කැපී පෙනෙන සේ පැවති බවට සාධක නැත. එසේම ලිත සාධක නැති මෙම ඇදහීම් හා වන්දනා ක්‍රමවල දර්ශනවාදී පැතිකඩ පිළිබඳ කිසිවක්‌ සිතාගත නොහැකි බව උගතුන්ගේ මතයයි.

ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ කලා කෘති

ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් කලා කෘති ලෙස ප්‍රධාන වශයෙන් ම හඳුනාගත හැක්කේ මුද්‍රා හා ප්‍රතිමාවන් ය. එහෙත් ක්‍රිඩා භාණ්ඩ, ආභරණ හා නිවාස සැලසුම් ආදිය තුළින් ද යම් කලාවන් මතු වේ. නමුත් ඉන්දුනිම්න වැසියන් වනාහි ඉතා සියුම් ලාලිත්‍යවත් කලාවකට නොව ශෛලීගත කලාවකට උරුමකම් කියූ පිරිසකි. ශෛලීගත කලාවක් බිහි වන්නේ දියුණු මානව කොට්ඨාසයක් අතිනි. සොබා දහමේ ඔවුන් දකිනා සිද්ධීන් හා වස්තූන් ඒ අයුරින් ම ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඒවා අවබෝධ කරගත් පසු සිතට ඇතිවන සිතුවිලි ප්‍රතිනිර්මාණය කිරීම මේ කලාවේ විශේෂත්වය යි.

ඉන්දුනිම්නයේ ප්‍රාසාංගික කලාවන් පිළිබඳ විස්තර කළ නොහැක්කේ ඒවා ශිෂ්ටාචාරයේ පරිහානියත් සමග මියැදෙන්නට ඇති නිසාය. ඔවුන්ගේ අක්ෂර මාලාව මෙතෙක් කියවා නොමැති නිසා සාහිත්‍යයක් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ද නොහැකි ය. ගීතය, නර්තනය, කාව්‍යකරණය ආදිය පිළිබඳ සාධක සෙවීමට නොහැකි ය. මේ නිසා ඉන්දුනිම්නයේ කලා කෘති ලෙස ඉදිරිපත් කළ හැක්කේ ඔවුන්ගේ ලලිත කලා නිර්මාණ(Fine arts) පමණි. ඒවායේ ද බොහෝ විට ඇත්තේ සමමිතික බවට මූලිකත්වය දෙමින් කළ නිර්මාණ වේ.(Geometric Designs) මේ ආශ්‍රයෙන් කළ ලී, රෙදි වැනි අමුද්‍රව්‍ය ආශ්‍රිත කලා නිර්මාණ හමු නොවීම නිසා, ඉන්දුනිම්නයේ කලා කෘති පිළිබඳ මෙවන් විමසුමක් කරන විට එහි කලාකරුවන්ට ඓතිහාසික අසාධාරණයක් සිදුවීම වැලක්වීමට නොහැකි ය. මන්ද යත් කලා කෘති පිළිබඳ සාධක අඩුවෙන් හමුවීමෙන් ම ඔවුන් කලාව පිළිබඳ වැඩි ඇල්මක් නොදැක්වී යැයි තීරණය කළ නොහැකි වීමත්, එසේ වුවත් සාධක අඩු නිසා ඔවුන්ගේ කලාවක් පිළිබඳ විස්තර කළ නොහැකි වීම නිසාත් ය.

කලා කෘති සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය

මැටි, හුණුගල්, ස්ටීටයිට්, ඇලබැස්ටර් හා ලෝහ වර්ග යොදාගෙන තිබේ.

කලා කෘති

මූර්ති-

ඉන්දුනිම්නයෙන් මූර්ති හමුවන්නේ අතලොස්සකි. විශේෂයෙන් මොහෙන්ජොදාරෝවේ කොටසකින් මේ නිර්මාණ කිහිපයක් හමු වී තිබේ. මේ සඳහා හුණුගල්(limestone)  ඇලබැස්ටර්[1](Alabaster) පාෂාණය භාවිත කර තිබේ. මේ නිර්මාණ වඩා විශාල නොවේ. උදාහරණයක් ලෙස  සුප්‍රසිද්ධ පූජක රුව හෙවත් “ශාන්තුවර රජු“ (Priest king) ලෙස හඳුන්වන රුව උස් වන්නේ සෙන්ටිමීටර 17.5ක් පමණි.

පූජක රුව-මොහෙන්ජොදාරෝවෙන් හමු වී තිබේ. හමුවන විටත් පූජක රුව කැඩී බිඳී ගොස් තිබුණි. එය හිඳි ඉරියව්වෙන්(Seated figure) සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. සෙන්ටිමීටර 17.5ක් උස් ය. සමාන්තර රේඛා මගින් මතුකළ ශෛලීගත රැවුලක්, හා හිසකෙස්, එක් උරහිසක් වැසූ පූජක ලෝගුව, එහි ඇති තිපෙති රටා සැරසිල්ල, සහ විශේෂයෙන් ම අඩවන් වූ ඇස් වලින් පූජකත්වය මතුවී පෙනේ. මේ මූර්තියේ සමස්ත නිමාවට අනුව මෙහි මෙසපොතේමියානු ලක්ෂණ දක්නට ලැබෙන්නේ යැයි ද මතයක් ඉදිරිපත් වී තිබේ. මේ ශිෂ්ටාචාරයේ වැසියන් මෙසපොතේමියාව සමග ද සබඳතා පැවතුවූ බවට මෙය සාධකයක් වේ.

හරප්පාවෙන් පුරුෂ කවන්ධ[2] උඩුකය රූප දෙකක් ද හමු වී තිබේ. මේවායේ අත් වෙන ම සකස් කර මෙයට සවිකර තිබෙන්නට ඇති වගට ලකුණු තිබේ. හමුවන විටත් මින් එකක පාද වලින් උඩු කොටස පමණක් ආරක්ෂා වී තිබී ඇත. අනෙක් මූර්තියේ උඩු කය සමග එක් පාදයක් පමණක් දක්නට ලැබේ. සෙසු කොටස් විනාශ වී ගොසිනි. ඇතැම්හු කියන්නේ මේවා සම්පූර්ණ නොකළ මූර්තීන් බව යි. මේවාගේ ශරීරයේ මස්පිඩු ආදිය මනාව මතු කර ඇති අතර මනාව ඔපමට්ටමි කර තිබේ.

පූජක රුවට අමතර ව ඉන්දුනිම්න කලා කෘති අතර වඩාත් කතාබහට ලක් වූ කෘතියක් වන්නේ නළඟන රුව යි. සෙන්ටිමීටර 11.5ක් පමණ උස් ය.  ලෝකඩයෙන් කර තිබේ. පසු කාලීන ඉන්දියාවේ වර්ධනය වූ දේවදාසී ක්‍රමයට පදනම ඉන්දුනිම්නයේ තිබූ බවට ඇතැම් ඉතිහාසඥයින් මත පල කරන්නේ මේ මූර්තිය නිසාවෙනි. ඇය පූර්ණ වශයෙන් ම නිරුවතින් සිටින්නියකි. නමුත් වළලු ආදී ආභරණ පැළඳ සිටින්නී ය. ළැම ඔස්සේ පහළට එල්ලා වැටෙන මාල පෙළක් ද ඇත්තේ ය. හිසකෙස් යම් විලාසිතාවකට අනුව බැඳ ඇති අතර ඒ නිසා ම හිස පිටුපස තරමක් නෙරා ආ ස්වරූපයකින් යුත් වේ. ඇය සිටින්නේ අතක් ඉනට තබාගෙන තරමක් කෝපී ඉරියව්වකිනි. පාදයක් මද වශයෙන් නැමී තිබේ. පසුකාලීන ඉන්දීය සාහිත්‍යයේ එන නාරි දේහ වර්ණනා වලට සමානව ස්ත්‍රී දේහ සුන්දරත්වය ද මතු වී තිබේ.

 

මුද්‍රා- ඉන්දුනිම්නයෙන් ලැබී ඇති අති විශාල ප්‍රමාණයක් වන මුද්‍රා වලින් කියවෙන්නේ කුමක් ද යන්න හෝ ඒවාගේ උපයෝගීතාව කුමක් ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නැත. ඊට ප්‍රධාන හේතුව මෙම මුදා වල ඇති අක්ෂර තවමත් කියවා නොතිබීම නිසා ය. මෙම මුදා වල මානව රූප, සත්ව රූප, වෙනත් ස්වභාවික වස්තු හා  අක්ෂර යන සිව් වර්ගයේ ප්‍රකාශනයන් බහුල වශයෙන් දක්නට ලැබේ. අප අවට ලෝකයේ දක්නට ඇති සත්ත්ව හා මානව රූප මෙන් ම, එසේ දක්නට නැති කල්පිත රූප ද මේ මුද්‍රා වලින් හමු වේ. කෙසේ වුව ද මෙකී සත්ත්ව හෝ මිනිස් රූප නිර්මාණය ඉතා සියුම් ආකාරයෙන් සිදුකර තිබේ. සතුන්ගේ ගමන් විලාස හා ලැගුම් විලාස ආදී ඉරියව් පිළිබඳ මේ ශිල්පීන් තුළ උසස් දැනුමක් තිබී ඇති වග පැහැදිලි වෙි. වලිගය ඔසවාගෙන වාඩිවී, අත් වලින් පොළවට තදකරගත් යමක් සැපීමට උත්සාහ කරන ලේන රුව බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබේ.

මේ හැර ඉන්දු නිම්නයෙන් වෙනත් මූර්ති ද හමු වේ. නමුත් මේවා ක්‍රීඩා භාණ්ඩ හා ආගමික මූර්ති ගොන්නට අයත් වන සේ සැලකෙන නිසා මෙහිලා විස්තර නොකෙර්. නමුත් මේවායේ ද යම් කලාත්මක අගයක් නැත්තේ නොවේ. ශෛලිගත අමුර්තවාදී නිර්මාණ වශයෙන් සැලකෙන මවු දෙවඟන රූප තුළින් ඉන්දු නිම්න වැසියන්ගේ භාවපූර්ණ කලාවක ලක්ෂණ පැහැදිලි වේ. ඒවා ස්වභාවිකත්වයෙන් තොරව නිර්මාණය කර ඇති නිසා මේ උසස් ලක්ෂණ නිරූපණය වේ. බිම හිඳගත් ආකාරයක් දැක්වෙන වඳුරු රුව ද ක්‍රීඩා භාණ්ඩයක් වුව ද වැදගත් කලාත්මක නිර්මාණයකි.

ආගමික මූර්ති -මවු දෙවඟන මූර්ති එකතුව, ලිංග රූප

ක්‍රීඩා භාණ්ඩ-(සෙල්ලම් කරත්ත, වඳුරු රූප ඇතුළු සත්ත්ව රූප)

සමාකාලීන ශිෂ්ටාචාර සමග පැවති සබඳතා

ඉන්දුනිම්න ශිෂ්ටාචාර ප්‍රදේශයේ විවිධ ජන වර්ග වාසය කිරීම නිසා මොවුන් සමකාලීන වෙනත් ශිෂ්ටාචාර සමග සබඳතා පැවත්වූ බව තහවුරු වී තිබේ. ඒ සබඳතා ගොඩනැගීමේ පදනම වන්නට ඇත්තේ වෙළඳ හා වාණිජ කටයුතු ය. ලෝතාල් වැනි වරාය කේන්ද්‍ර කරගනිමින් නෞකා යොදාගනිමින් ඔවුන්ගේ විදෙස් සබඳතා ජාලය වර්ධනය වන්නට ඇත. මේ ආකාරයට ඔවුන් සබඳතා පැවත්වූ සමකාලීන ශිෂ්ටාචාරයක් වූයේ මෙසපොතේමියාව යි. එම ශිෂ්ටාචාරයෙන් ඔවුන් ලෝම ආනයනය කර ඇත. ඊට අමතරව

රත්‍රන් බලා ගැනීමට- මයිසෝරය සමගත්, තඹ ලබා ගැනීමට අරාබිය, බලුකිස්ථානය හා රාජ්පුටානාව සමගත්,  රිදී ලබා ගැනීම සඳහා ඉරානය සමගත් සබඳතා පවත්වා ඇත. බටහිර ආසියාතික ග්‍රාමීය හා නාගරික ශිෂ්ටාචාර සමග ද ඔවුන් සබඳතා පවත්වා තිබේ.එම ප්‍රදේශ වලට ආවේණික මැටි බඳුන් ඉන්දුනිම්නයෙන් හමු වීමෙන් ඒ බව සනාථ වේ. හරප්පාවේ නිපදවූ කානිලියන් පබළු සහ මුතු අලෙවිකිරීම සඳහා ද ඔවුන් විදෙස් සබඳතා වර්ධනය කරගන්නට ඇත.

ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පරිහානිය

ක්‍රිස්තු පූර්ව 1750ත් 1500ත් අතර කාලය තුළ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ක්‍රමයෙන් පිරිහී සපුරා ම බිඳවැටී තිබේ.ක්‍රිස්තු පූර්ව1750 වන විට ලෝතාල් හි පිරිහීම සිදු වී ඇති අතර 1650 දී රඛිගාර්හි පිරිහීම සිදුව තිබේ. පසුව ක්‍රමයෙන් සෙසු නගර ද පිරිහී ක්‍රිස්තු පූර්ව 1500 දී ශිෂ්ටාචාරය සපුරා ම පිරිහී ගොස් තිබේ. මේ සඳහා හේතු සාධක කිහිපයක් ම විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.

  • ස්වභාවික විපත්,
  • පාරිසරික වෙනස්විම්
  • සතුරු ආක්‍රමණ
  • වසංගත රෝග

ස්වභාවික විපත්

ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පරිහානිය කෙරේ තදින් ම බලපෑ සිදුවීමක් ලෙස මුල්කාලීනව විශ්වාස කළේ මේ හේතුසාධකය යි. නමුත් පසුකාලයේ ඊට ප්‍රතිවිරුද්ධව මතුකළ හේතු සාධක නිසා මේ හේතුව තරමක් යටපත්විය. නමුත් ඒ මතය සපුරා ම ප්‍රතික්ෂේප වී නොමැති වග ද අප සිහිතබාගත යුතු වේ. ජෝන් මාර්ෂල් හා මෝටිමර් විලර් වැනි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කළේ මේ මතය යි. ඔවුන් ඒ සඳහා සාධක වශයෙන් ඉදිරිපත්කළේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් නිවාස වල තාප්ප හා පාදම් වරින්වර උස් කළ බවට ඇති සාධක මත පිහිටමිනි. එසේ පාදම ඔසවන්නට ඇත්තේ වරින්වර ගැලූ ගංවතුරින් නිවාස විනාශ වූ නිසා ය. නිවස විනාශ වූ විට යළිත් පැරණි පාදම තරමක් උස් කර යළිත් නිවස තනා තිබේ. හමු වී ඇති මිනිස් අස්ථි පද්ධති ආදිය නවීන විද්‍යාත්මක ක්‍රම අනුව පරීක්ෂා කළ විට දියේ ගිලීමෙන් මියගිය මිනිසුන්ගේ ලක්ෂණ හමු වී තිබේ. මේ නිසා ජලගැලීම් සිදු වූ බව විද්‍යාත්මකව ද සනාථ වී තිබේ. මේ ගංවතුර ගැලීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වීම නිසා ඉන්දුනිම්න වැසියන් මේ ප්‍රදේශ වලින්  ඉවත්වන්නට ඇති බවත් ජනයා ඉවත්ව යෑමත් සමග ශිෂ්ටාචාරය ක්‍රමයෙන් පරිහානියට පත්වන්නට ඇති බවත් ඔවුන්ගේ මතය වී ඇත. මෙහි සත්‍යයක් නැත්තේම යැයි පැවසීමට අපහසු ය. මන්දයත් මේ සා විශාල ශිෂ්ටාචාරයක පැවති සංකීර්ණ නාගරික ලක්ෂණ අනුව පෙනී යන්නේ දෛනික නඩත්තු කටයුතු සඳහා පමණක් විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වූ බවයි. නාගරික කාණු පද්ධති පවිත්‍ර කිරීම, වීථි පහන් දැල්වීම, නිවෙස්වල එකතුවන ඝන අපද්‍රව්‍ය එකතුකර ඉවත්කිරීම, කැඩුණු බිඳුනු තැන් ප්‍රතිසංස්කරණය ඇතුළු විශාල කාර්ය ප්‍රමාණයක් නාගරික පෙදෙස් වල දෛනිකව සිදුකෙරී ඇත. මේ ශිෂ්ටාචාරයේ උසස් පැවැත්මට අදාළ වූ දේ ය. නමුත් ජන සංක්‍රමණ සමග මෙකී කටයුතු සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය හිඟ වන අතර ශිෂ්ටාචාරය ක්‍රමයෙන් පරිහානියට පත් වේ.

 

පාරිසරික වෙනස්වීම්

මේ යටතේ අවධානය යොමුකරන කරුණු කිහිපයක් වෙයි.

  • විශාල ප්‍රදේශයක් පුරා කළ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගඩොළු සඳහා සීමාවකින් තොරව භූමිය ප්‍රයෝජනයට ගැනීම,
  • ඒවා පිලිස්සීම සඳහා කැලෑ කැපීම,
  • කැලෑ කැපීම නිසා සිදුවූ කාන්තාරීකරණය හා ජල චක්‍රය අක්‍රමවත් වීම,
  • පිලිස්සීමේදී සිදුවන වායු දූෂණය
  • හදිසි ගංවතුර තත්ත්ව හේතුකොටගෙන ඉන්දු නදියේ ගමන්මග වෙනස්වීම
  • දිගින් දිගට වගා කිරීම නිසා පස නිසරු වීම
  • ගිනි ගැනීම්.

මේ සිදුවීම් නිසා තවත් ප්‍රතිඵල කිහිපයක් සිදුවී ඇත. පස නිසරු වීම නිසා ආර්ථික පරිහානියක් ඇතිවූ අතර පරිසර උෂ්ණත්වය ඉහළ යෑම සමාජ නොසන්සුන්තාවකටත් ගැටුම් ඇති වීමටත් හේතුවක් වේ. සාමාන්‍යයෙන් සීත කලාප වල මිනිසුන් තුළ ගැටුම්කාරී සිතුවිලි ඇතිවන අවස්ථා සීමිත ය. වර්තමානයේ පවා අප්‍රිකා මහද්වීපයේ බොහොමයක් ගැටුම් වලට එහි පරිසර උෂ්ණ්ත්වය හේතුවක් වී ඇති බව සමාජ විද්‍යාඥයින් සාධක සහිතව ම සනාථ කර තිබේ.

කෙසේ වුව ද ඉහතින්  දැක්වූ හේතු මත පුරා විද්‍යාඥයින් පාරිසරික වෙනස් වීම ඉන්දුනිම්නයේ පරිහානියට හේතු වී ඇති බව සඳහන් කර තිබේ. නමුත් පංජාබයේ සේවය කළ ලැම්බ්‍රික් මහතා හේතුසාධක සහිතව ම මෙකී කරුණ ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් මේ වනාහි අප අවධානය යොමුකළ යුතු කරුණකි. වත්මන් ලෝකයේ පවා ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් පරිසරය වනසන අතර ඒ නිසා විශාල පාරිසරික වෙනස්විමී සිදුවී තිබේ. මේ නිසා ලෝකයට බරපතල පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර එකී අභියෝග විසින් ඉතා ධනවත් රටවල් පවා දිලින්දන් කළ අවස්ථා දක්නට ලැබේ. නූතන තාක්ෂණයෙන් අගතැන්පත් ඇමරිකා එක්සත් ජනපදය පවා කත්‍රිනා, ලිලී වැනි ස්වභාවික විපත් වලදී අසරණ වූ අයුරු මෑත ඉතිහාසයේ දී දක්නට ලැබුණි. නමුත් ඉන්දුනිම්න ශිෂ්ටාචාර සමයේ දී ගඩොළු කැපීම හා ඒවා පිළිස්සීම නිසා ශිෂ්ටාචාරය විනාශ වීමට තරම් පාරිසරික විනාශ සිදුවූයේ ය යන්න බොහෝ දෙනා පිළිගන්නේ නැත. එසේ වුව ද එකී අසීමිත සම්පත් භාවිතය තුළ ඇත්තේ කෙටි කාලීන බලපෑම් නොවේ. දිගුකාලීන බලපෑම් ය. මේ නිසා ශිෂ්ටාචාර ප්‍රදේශයට අක්‍රමවත් හා අවිධිමත් ආකාරයට වර්ෂාව පතිත වීම, බලාපොරොත්තු නොවන අවස්ථා වල ගංවතුර ඇති වීම නිසා ආහාර බෝග විනාශ වීම. වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා භූමියේ වැස්ම ඉවත් වී සරුපස සේදී විනාශ වීම, භූගත ජලපරිමාව අඩු වීම වැනි සිදුවූම් වලට මුහුණ දීමට සිදුවේ. මේ වනාහි ජනයා ඉවත්වී යෑමට හේතුවකි. ශිෂ්ටාචාරයේ ආර්ථිකය ඇතුළු අංශ ගණනාවක් බිඳ වැටීමට හේතුවකි. මේ නිසා මෙකී හේතුව ද යම්තාක්දුරට ශිෂ්ටාචාරයේ පරිහානියට හේතුවක් වන්නට ඇත.

 

ඉන්දුනදියේ ගමන්මග වෙනස් වූ බව විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ­ ඉන්දුනිම්නයේ උතුරු හා දකුණු ප්‍රදේශ වලින් නව ජනාවාස කලාප දෙකක් මතු වී ඇති නිසා ය. ඉන්දු නදියේ ගමන්මග හදිසියේ වෙනස් වීම නිසා  අපහසුතාවට පත් ඉන්දුනිම්න වැසියෝ ගංගාවේ පැරණි මගෙහි ඉතිරි වූ ­­විල් හා තටාක අවට පදිංචි වූහ. ඔවුන් ඒ අශ්‍රිතව බිහිකළ නව ජනාවාස වල ස්වභාවය පැරණි ඉන්දුනිම්න ජනාවාස වලට වඩා වෙනස් විය. ඉතිරි වී ඇති සුලු ස්වභාවික සම්පත් භුක්තිවිඳීමේ දී ඔවුන්ට තරමක් වෙනස් ජීවන රටාවක් ඇති කර ගැනීමට සිදුවිය. මේ නිසා මේ පිරිස් ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අනන්‍යාතාවලින් බැහැර වූ අතර ඔවුන් වෙනත් ජන කොටස් සේ ජීවත් වූහ. මේ අකාරයට සැලකිය යුතු පිරිසක් ගංගාවේ හදිසි වෙනස්වීම් සමග නව ජීවන රටාවන්ට යොමු වූ අතර මෙය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බිඳ වැටීමට හේතුවක් විය. සත්‍ය වශයෙන් ම මෙහිදී සිදුවූයේ පැරණි වැසියන් නව ජීවන රටාවන්ට හුරු වීමත් සමග ශිෂ්ටාචාරයේ අනන්‍යතාව නැතිවී ගොස් එය ඉතිහාසයේ සැඟව යාම යි. මේ සිදුවීම් ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අපර සීමාව(නිමාව) ලෙස දක්වන ක්‍රි.පූ. 1750ට පමණ අයත් වන නිසා මේ සාධකය තවදුරටත් පිළිගැනීමට ලක් වී ඇත. මේ පිළිබඳව විශේෂ පර්යේෂණයක් කළ පුරාවිද්‍යාඥ සැමුවෙල් බට්ලර් මහතා පවසන්නේ සියවස් ගණනක් තිස්සේ ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටි ඉන්දුනිම්න වැසියන්ගේ ඉදිකිරීම් ක්‍රම මෙන්ම නගර නිර්මාණ ක්‍රම වල ද වෙනස් වීමක් පරිහානි අවධියේ සිදුවූ බවට සාධක ඇති බවයි. මේ වෙනස් ධනාත්මක වෙනසක් නොව අභ්‍යන්තරික නොසන් බවක් සමග ඇතිවූ අවිධිමත්  හා සම්ප්‍රදාව විරෝධී වෙනසකි. ඉන් පෙනී යන්නේ ඔවුන්ට පැරණි ආකාරයට ම ජීවත් වීමට යම් බාධාවක් එල්ලවී ඇති බව මිස ඒකාකාරී බවින් මිදීම පිණිස කළ වෙනසක් නොවන බව යි.

අභ්‍යන්තර නොසන්සුන්කාරී බව හා බාහිර ආක්‍රමණ

ශිෂ්ටාචාරයේ මෙවන් හුදෙකලා කලාප නිර්මාණය වීමත්, පළමුව දැක්වූ ස්වභාවික විපත් නිසා ආර්ථික පරිහානියක් සිදුවීමත් නිසා ශිෂ්ටාචාරය තුළ නොසන්සුන් බවක් මතුවී තිබේ. එයට හේතුව ආර්ථික පරිහානිය සමග මතුවූ විවිධ සමාජ ගැටළු වැනිදේ විය යුතුය. උදාහරණ ලෙස සොරකම් කිරීම් හා ඒ සමග ඇතිවන ගැටුම් ආදිය දැක්විය හැක. එමෙන් ම ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාවේ ගමන්මග වෙනස් වීමත් සමග හුදෙකලා කලාප නිර්මාණය වී ශිෂ්ටාචාරයේ ශක්තිය හීන වීම නිසා ද නොසන්සුන් තත්ත්වයක් ඇතිවන්නට ඇත. විශේෂයෙන් ම මෙවන් තත්ත්වයක දී සිදුවන ප්‍රධාන ම දෙය නම් හුදෙකලා වූ ප්‍රදේශ වෙත සතුරු ප්‍රහාර, ආක්‍රමණ එල්ල වීමයි. මේ ආක්‍රමණිකයින්ට මුහුණ දීමට තරම් ශක්තියක් ඉන්දුනිම්නයේ හුදෙකලා වූ නව කලාප වල වැසියන්ට නොහැකි වූ අතර ඔවුන් ඉතා පහසුවෙන් ආක්‍රමණිකයින්ගේ ගොදුරු බවට පත්වන්නට ඇත. මේ පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් ආක්‍රමණ සමග ශිෂ්ටාචාරයේ ඇතැම් පැති වල සිදුවූ බිඳ වැටීමට කරුණු දෙකක් ඉවහල් වූ බව සොයාගෙන තිබේ.

  • ඇතැම් වැසියන් මිය යෑම.
  • ඉතිරි පිරිස් ආක්‍රමණිකයින්ගේ සංස්කෘතියට හුරු වීම.

මේ හේතු දෙක ම නිසා ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ඉතිහාසයේ සැඟවී ගොස් ඇත. ඉන්දුනිම්න වැසියන්ගේ මළසිරුරු වළ දැමීමේ සාම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස් අයුරින් මිහිදන් වූ මළ සිරුරු රැසක් ඉන්දුනිම්නයේ ඇතැම් ප්‍රදේශ වලින් හමුවී තිබීම නිසා පුරාවිද්‍යාඥයින්ගේ මේ මතය තවදුරටත් තහවුරු වී තිබේ. එක් ප්‍රදේශයක තිබී ලිඳකට බසින පඩිපෙළක් මතදී ම මිය ගිය දෙදෙනෙකුගේ ඇටසැකිලි හමු වී තිබේ. තවත් ස්ථානයක වීථියක තිබී ඇටසැකිලි දෙකක් ද හමු වී තිබේ. ආවාටයක් වැනි ස්ථානයක තිබී ඇටසැකිලි නවයක් හමු වී ඇති අතර ඉන් පහක් ම ළමුන්ගේ ඇටසැකිලි වේ. නිවසක කාමරයක තිබී ස්ත්‍රීන් දෙදෙනෙකුගේ ද, පිරිමි අයෙකුගේ හා කුඩා ළමයෙකුගේ ද ඇට සැකිළි හමු වී තිබේ. ඒවායේ හිස්කබල වල පොරෝ පහරවලින් සිදුවූ පැලීම් දක්නට ලැබේ. තවත් ස්ථානයක තිබී හමු වූ මළ සිරුරක් වඳුරෙකුගේ ය. ඒ ආසන්නයේ ම ඇතුන් දෙදෙනෙකුගේ මළ සිරුරු දක්නට ඇති අතර ඒ සියලු සතුන් ප්‍රහාරයකින් මිය ගිය බවට සාක්ෂි තිබේ. වඳුරා ඉන්දුනිම්න වැසියන්ගේ සුරතල් සතෙක් වූ බව හමු වී ඇති සෙල්ලම් බඩු ආදියෙන් පෙනී යයි. සතුරන් මේ ආකායට නිවෙස් වල ඇති කළ සතුන් පවා මරා දමා මහා විනාශයක් සිදුකර ඇති බව පෙනී යයි. ඉන්දු නිම්න වැසියන් සාම්ප්‍රදායික ආකාරයට මිහිදන් කළ මළසිරුරු  සහිත මිනී වළවල් 24ක් විවිධ ස්ථාන වල කළ කැණීම් වල දී සොයා ගෙන තිබේ. මේවායේ වළ දමා ඇති මළ සිරුරු හා ඉහතින් කී ආකාරයේ මිය ගියවුන්ගේ සිරුරු වල විශේෂ වෙනසක් තිබේ. එනම් මියගිය පසු මිහිදන් කළ  බව හා මරා දමා ඇති බව යි.   මින් පෙනී යන්නේ ප්‍රබල සතුරු ආක්‍රමණයක් එල්ලවූ බවත් ඒ සමග ම වැසියන් පලා ගිය බවත් ය. මළ සිරුරු ඒ ස්ථාන වල ම දිරාපත් වීමෙන් පෙනී යන්නේ පලා ගිය වැසියන් යළි මේ ප්‍රදේශයට නොපැමිණි බවයි. පැමිණියේ නම් ඔවුන්  මේ මළ සිරුරු වළදැමීමට පෙළඹෙනු ඇත. නමුත් එසේ සිදුවී නොමැත.

එපමණක් නොව ඉන්දුනිම්න වැසියන් භාවිත කළ කෘෂි පොරවට වඩා සතුරන්ට පහර දීම පිණිස නිර්මාණය කළ තරමක් දියුණු තඹ පොරෝ තලයක් ද හමු වී තිබේ. එය හමු වී ඇත්තේ ඉන්දුනිම්නයේ ඉහතින් කී ආකාරයට වැසියන් ඝාතනය කර තිබූ ස්ථරයේ ම තිබිය දී ය. ඒ පස් ස්ථරයේ ම තිබී මැද නාරටියක් සහිත කඩු කිහිපයක් ද හමු වී තිබේ. මේවා ඉන්දුවැසියන් භාවිත කළ ආයුධ නොවේ. සතුරු ආයුධ විය යුතු ය.

ඉන්දුනිම්නය පිළිබඳව පර්යේෂණ කළ මහාචාර්ය ඒ. එල්. බෂාම් මහතා සඳහන් කරන්නේ ආක්‍රමණිකයින් ඉන්දියාවේ බටහිර දෙසින් එනම් බලුකිස්ථානය දෙසින් අවස්ථා කිහිපයක දී ම කඩාපැන ප්‍රහාර එල්ල කර ඇති බව යි. රානාසුන්දායි ප්‍රදේශයෙන් ලැබී ඇති සාක්ෂි වලින් පෙනී යන්නේ මේ ආක්‍රමණිකයින් අශ්වාරෝහක පිරිසක් බව යි. ඒ බව බෂාම් මහතා ද සඳහන් කර තිබේ. වර්ණ නොකළ වළං භාවිත කළ ගොරෝසු පෙනුමක් සහිත පිරිසක් ද බටහිර දෙසින් ආක්‍රමණයක් එල්ල කර තිබේ. ඊට සමාන සංස්කෘතියකට උරුමකම් කියූ පිරිසක් ද පසු කාලයේ සුක්තජෙන්දෝර් අසල ෂාහිතුම්ප් ප්‍රදේශයේ පදිංචි ඇත. නමුත් ඊට පසු ආ පිරිසක් මේ පිරිස පළවා හැර එහි පදිංචි වී ඇති අතර භීතියට පත් ඉන්දුනිම්න වැසියන් නාගරික ප්‍රදේශ වලට රොක් වී ඇති බවත් නාගරික ජනගහනය අධික වීමෙන් ක්‍රමවත් නාගරික සැලසුම් වෙනස් වී අක්‍රමවත් බවක් ඇතිවී බවත් බෂාම් මහතා ප්‍රකාෂ කරයි.

මොටිමර් විලර් මහත්ගේ තවත් මතයක් වන්නේ මේ ආක්‍රමණිකයින් වනාහි ආර්යයන් බව යි. ආර්යයන් ඉන්දියාවට පැමිණෙන විට එහි සිටි දාස, දස්‍යු හා අසුර ජන කොටස් පිළිබඳ සෘග්වේදයේ එන සටහන් අනුව පෙනී යන්නේ ඒ ඉන්දු නිම්න වැසියන් බව යි. අනාර්ය බසක් කතා කරන(මුද්‍රාවාක්) වෛදික ඇදහිම් පිළිනොගන්නා(අකර්මන්) දෙවියන් නොඅදහන(අදේවසු) වෛදික වෘත නොපිළිපදින(අන්‍යවෘත) පිරිසක් ඉන්දීය භූමියේ සිටි බව සෘග් වේදය අනුව පැහැදිලි වේ. මේ වනාහි ඉන්දුනිම්න වැසියන් විය යුතු යැයි විලර් මහතා විශ්වාස කරයි. ඔවුන් ලිංග පූජාවන් කළ පිරිසක් බව සෘග් වේදයේ සඳහන් වීමෙන් මේ බව තවදුරටත් සනාථ වේ. ආර්යයන්ගේ පුරන්දර නම් දෙවියා මේ වැසියන්ගේ නගර, බලකොටු විනාශ කළ බව සෘග්වේදයේ සඳහන් වීයෙන් පෙනී යන්නේ ආර්යයන් ඉන්දුනිම්න වැසියන්ට පහර දුන් බව යි. මේ සාධක අනුව පෙනී යන්නේ ඉන්දුනිම්නයේ පරිහානියට වැඩි වශයෙන් ම බලපා ඇත්තේ සතුරු ආක්‍රමණයක් බව යි.

වසංගත රෝග.

ජනගහනය අධිකවත්ම ඉන්දුනදියේ ජලය දූෂණය වීම නිසාත් වෙනත් බාහිර හේතු නිසාත් පාචනය, මැලේරියාව වැනි වසංගත තත්ත්ව උද්ගතවන්නට ඇතැයි සැලකේ.

මේ ආදී විවිධ හේතු නිසා ක්‍රිස්තු පූර්ව 1500 වන විට මේ ශිෂ්ටාචාරය ඉතිහාසයේ සැඟවී ගියේ ය.

 

[1] ඇලබැස්ටර් යනු කිරිගරුඬ වැනි පාෂාණයකි.

[2] කවන්ධ=හිස සුන්, හිස නැති