මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය

සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත

ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ සියලු විශයයන් අන්තර්ගත වේ. මේ නිසා සියලු විෂයයන්ගේ පදනම ඒ තුළ ඇත්තේ ය. මිනිසෙකුගේ දෑස් බැඳ  ගුවනින් ගෙන ගොස් මහ කතරක මැද දමා ආ හොත් ඔහු යළි ඒන්නට මග සොයා ගන්නේ කෙසේ ද? ඔහුට පූර්වයන් ගිය මගක් දිශාවක් සොයාගන්නට සිදුවේ. ලෝකය පිළිබඳ අවබෝධය, ඉර, හඳ ආදී ග්‍රහ තාරකාවන් පිළිබඳ අවබෝධයත්, මහ කතරන දී දිවි රැකගන්නා ආකාරය පිළිබඳ සිය පූර්වගාමීන්ගේ ක්‍රමවේද පිළිබඳවත් ඔහු තුළ දැනුමක් තිබියයුතු වන්නේ ය. විවිධ ප්‍රශ්න වල දී පූර්වගාමීන් හැසිරුණේ කෙසේ ද යන්න පිළිබඳවත්, ප්‍රශ්ණ වලට මුහුණ දුන් පළමුවැන්න ඔහු නොවන බවත්, ප්‍රශ්න වලට අතීතයෙන් ද විසඳුම් සෙවියහැකි බවත් ඔහුට අවබෝධ කරවා ඇත්නම් ඔහු මේ කතරේ මග සොයා එනු ඇත. ප්‍රශ්න යනු මිනිසාට දියුණු වීමට ඇති දොරටුවක් බවට ඉතිහාස පාඩම් තුළින් සාධක සහිතව ම ඔහුට අවබෝධ කරවා ඇත්නම් අප පවසන්නේ ඔහු කතරින් එළියට එන්නේ නෙළුම් අල ද රැගෙන බව යි. ඒ කියමන අවබෝධ කරගන්නට උත්සාහ කරන්න.

ශ්‍රේෂ්ඨයින්ගේ පියවර මත තවත් පියවර සටහන් තිබේ. ඒත්  ඒ පියවර සටහන් සියල්ල ශ්‍රේෂ්ඨයින්ගේ පියවර සටහන් නොවේ. අවස්ථාවාදීන්ගේ ද පියවර සටහන් එහි තිබේ. එය බුද්ධියෙන් විමසා බැලියයුතු වේ. සැබෑ බුද්ධිමත් ගොවියා සීසාන්නට ගවයින් යොදාගත්ත ද අස්වනු නෙලන දාට උන් ගෙන්වන්නේ නැත. අස්වැන්නට ගවයින් රහවැටීම එතරම් නුවණට හුරු නොවන නිසා ය. රහවැටුණු ගවයෝ අස්වද්දා අස්වනු නෙළන්නට නොදනිති. උන් දන්නේ අනුන් අස්වැද්දූ කෙතෙහි අස්වැන්න අනුභව කරන්නට පමණි. ඉතිහාසයේ අපට වැරදුණු තැන් බොහෝ තිබේ. ඉතිහාසය උත්තරීතරය යන චින්තනයේ වහලෙකු නොවී විමසුමට ලක් කළ යුතු දේ තිබේ.  මේ සටහන තබන්නේ එකී කරුණු පිළිබඳ ඔබ තුළ අවබෝධයක් ඇතිකරවනු අතර ම ඉතිහාසයේ ඇති ප්‍රායෝගික බව සනාථ කරනු පිණිස ම ය. ඉන් අපට ගතහැකි බොහෝ දේ ඇති වග සටහන් කරනු පිණිසම ය. (මෙහි ඉහතින් කී වැකිවල ඇති ‘ගවයා‘ යන වදන ඉතිහාසයේ විසූ කිසිදු පුද්ගලයෙකුට අපහාස පිණිස නොව දුර දිග නොබලනා අපට ම අපහාස පිණිස යොදා ගත් බව පැහැදිලි ලෙස ම සටහන් කරමි. විවේචනයක දී එය වරදවා නොගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.)

වළගම්බා පරපුර- වලගම්බා රජු සද්ධාතිස්ස රජුගේ බාල පුත්‍රයාය. ඔහුට වැඩිමහලු  සොයුරන් තිදෙනෙකු විය.  ලඤ්ජිත්ස්ස, ථුල්ලත්ථන, ඛල්ලාටනාග යනුවෙනි. වළගම්බාවන් බලයට පැමිණෙන විට මේ කිසිවෙකුත් බලයේ හෝ ජීවතුන් අතර නොසිටි අතර සංඝයා වහන්සේලාගෙන් පවා ඔහුට එතරම් අනුග්‍රහයක් නොලැබුණු වගක් පෙනෙයි. ආරම්භයේ සිට ම වළගම්බා රජු දේවත්වයක් ආරෝපණය කරගනිමින් කටයුතු කිරීම ඊට හේතු වන්නට ඇත. පිතිමහරජ ලෙස වළගම්බාවන් මහාවංසයේ හඳුන්වා ඇත්තේ සිය සොයුරාගේ දරුවාට පියෙකු වූ නිසා යැයි මහාවංසයේ සඳහන් වුව ද, සෙනරත් පරණවිතාන මහතා කියන්නේ ඔහුට ඒ නම යෙදුණේ, තමන් ලෝකපාලක දෙවිවරුන් සිවු දෙනාගෙන් කෙනෙක් වූ යම ට සමාන යැයි ඔහු විසින් ම හැඳින්වූ නිසා විය යුතු ය කියා ය. යම යන්න පිතිරජ යන්නට සමාන වේ. යම යන්න කාල යන වදනට ද සමාන වේ. මහාකාල සිංහලයා පැනයන වග කියමින් ගිරි නම් නිඝණ්ඨයා වලගම්බා රජුට අපහාස කලේ මේ නිසා විය යුතුය. තමන්ට දෙවියෙකුට සේ සලකනු දැකීමට වළගම්බා රජු කැමැත්තක් දැක්වූ බව ඔහුගේ පසුකාලීන හැසිරීම් අනුව ද පෙනෙයි. තමන්ට උපකාර කළ තනසීව හා කපිසීස පවා රජු අතින් මරණයට පත්වන්නේ මෙම ගෞරවය පිළිබඳ හේතු කැරණා නිසා ය. තමන්ව ම දෙවියෙකුට උපමාකරගත් රජුට භික්ෂූන්වහන්සේලා අකමැති වන්නට ඇත. නමුත් වළගම්බා රජුගේ චරිතය තුළ ආදර්ශයට ගන්නට වටිනා බොහෝ දේ තිබේ. එපමණක් නොව දුටුගැමුණු රජුගේ හදිසි වියෝවත්, සද්ධාතිස්ස රජුට පසු සාලිය කුමරුන්ට රාජ්‍යත්වය නොදී ථුල්ලත්ථන කුමරු රජ වීමත් තිස්ස කුමරුන්ගේ නම සද්ධාතිස්ස ලෙස දක්වා තිබීමත්, ථුල්ලත්තන ඝාතනය කර ලඤ්ජිතිස්ස සොයුරා රජවීමත් තුළ අපට සිතන්නට බොහෝ දේ තිබෙනා වග මෙහිලා මාගේ පෞද්ගලික අදහසක් ලෙස සඳහන් කරමි. කෙසේ වුව ද ප්‍රකට හා අප්‍රකට විවිධ කාරණා මුල් කරගනිමින් අපට මේ පරපුර පිළිබඳ යම් නිගමනයකට එළැඹිය හැකි වන්නේ ය. සද්ධාතිස්ස රජ පරපුර සම්බන්ධයෙන් මෙරට භික්ෂු පරපුර හා සාමාන්‍ය ජන සමාජය තුළ විශාල ප්‍රසාදයක් නොපැවති බව ය. ඇතැම් සිදුවීම් වලට ඔවුන් වගකිවයුතු වුව ද, නොවූව ද ඔවුන්ට සැකයේ අවාසිය එල්ලවී ඇති වගක් පෙනෙයි. ඛල්ලාට නාග රජදවස කුමන්ත්‍රණයකට සහභාගී වූ තිස්ස, අභය හා උත්තර කුමාරවරුන් තිබෙනා, එකී කුමන්ත්‍රණය හෙළි වීමෙන් පසු ඔවුන් නිඝණ්ඨාරාමයක දී ගින්නට පැන දිවි නසා ගත් අතර ඔවුන්ගේ ඥාතින් එකී ස්ථානයේ අග්ගිපවිසක චෛත්‍ය්‍ය නමින් චෛත්‍යයක් කරවීම තුළ ද මේ වන විට රජ පවුල අභ්‍යන්තරයේ ගැටුම්, බිඳීම් ඇති වි තිබූ වගට සාක්ෂියක් ගැබ් වී තිබේ. පසුකාලයක මේ චෛත්‍යය අභයගිරි විහාරය ඉචිකිරීමේ ව්‍යාපෘතියේ දී කඩා බිඳ දමන්නට ඇත.

ථුල්ලත්ථන, ලඤ්ජිත්ස්ස, ඛල්ලාටනාග හා වළගම්බා රජවරුන් පිළිබඳ භික්ෂු සමාජයේ ප්‍රසාදයක් නොවූ වගට ඔවුන්ගේ නම් වලින් ද අවබෝධ කරගතහැකි වන්නේ ය. මේ පරපුර බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග අමනාපයකින් පසු වුව ද ඔවුන් ද අවශ්‍යය යන හැඟීමෙනු යුතුව කටයුතු කර ඇති වග ඔවුන්ගේ ම ඇතැම් කාර්යයන් තුළින් පෙනී යයි.

ථුල්ලත්තන යන නාමයෙන් විශාල තනයක්(පියයුරක්) ඇත්තා යන අරුත දෙයි. එය විසුළු නාමයකි. එනම්, ස්ත්‍රියකට බඳු උඩුකයක් ඇත්තා යන අරුතයි. ථුල්ලත්තන කුමරු එසේ වුව ද ඔහු සංඝයා කෙරෙහිත් සංඝයා වහන්සේලා ඔහු කෙරෙහිත් යම් ඇල්මක්-මනාපයක් ඇතිව කටයුතු කළ වගක් පෙනී යයි. ඔහු බලයට පත්වීමට පෙර සිය පියා වූ සද්ධාතිස්ස කුමරු සමග රුහුණේ නතර වී සිටියේ ය. රුහුණේ කරන්දර නම් විහාරයක් කරවූ ථුල්ලත්තන කුමරු එය සඟසතු කොට පිදීම පිණිස දුටුගැමුණු මහ රජුගේ අවසරය-අනුමැතිය ලබනු පිණිස සිය පියා සමග ම අනුරාධපුරයට පැමිණිය ද ඒ වන විට ගැමුණු රජු ඔත්පලව සිටියේ ය. තිස්ස කුමරු අනුරාධපුරයට පැමිණියේ සිය සොයුරා ඔත්පලව සිටිනා වගට ලද හසුනක් නිසා බව වංසත්ථප්පකාසිනියේ ද සඳහන්වේ. ථුල්ලත්තන කුමරු ද ඒ ගමනට එක්වූයේ ඒ සමග ම තම කාර්යය ද ඉටුකරගනු පිණිස ය. එයින් ගම්‍ය වන තවත් කරුණක් වන්නේ දුටුගැමුණු රජු මේ ඔත්පලභාවයෙන් ම මියයාහැකිය යන මතයේ ථල්ලත්තන කුමරු නොසිටි බව යි. සද්ධාතිස්ස කුමරු කුමන මතයක සිටියේ ද යන්න පැහැදිලි නොවේ.තවත් කරුණක් තිබේ. ථුල්ලත්තන මධ්‍යම රජයට ගරු කළ හික්මීනක් තිබූ අයෙකු බවයි. වත්මන් රජ පුතුන්ගේ ඇතැම් ක්‍රියා රජ පියවරු හෝ දන්නේ නැත. මෙය ලංකාවට ආවේණික ලක්ෂණයක් නොවේ. ලොව බොහෝ රටවල එවැනි තත්ත්ව තිබේ. රජ පුතුන් හිතුවක්කාරීය. කාමලෝලීය. මහජන දේපළ පිළිබඳ අනවබෝධයෙන් පසුවන අතර ජන දුක පිළිබඳ අසංවේදී ය. නමුත් එසේ නොවන අවස්ථා ද තිබේ. කෙසේ වුව ද දුටුගැමුණු රජු මියගිය පසු සද්ධාතිස්ස කුමරු ද බලයට පත් වූ අතර ඔහු මියගිය පසු ථුල්ලත්තන කුමරු බලයට පත්කිරීමට භික්ෂූන්වහන්සේලා සහ ඇමතිවරු කටයුතු කළේ සම්ප්‍රදාය විරෝධී තීරණයක් ගනිමිනි. නමුත් මසකට පමණ පසු ඔහුට සිය වැඩිමහළු සොයුරා අතින් ම මියයන්නට සිදු වූයේ ය. ලඤ්ජිතිස්ස කුමරු අනුරාධපුරයට පැමිණ සිය සොයුරා මරා තම උරුමය ලබාගත්තේ භික්ෂූන්වහන්සේලාගේ හා අමාත්‍යවරුන්ගේ විරෝධය මැද ය යනුවෙන් සෙනරත් පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් කර තිබේ.(2000 මුද්‍රණය 160 පිටුව) ථුල්ලත්තන බලයට පත්කිරීමට භික්ෂූන්වහන්සේලා ක්‍රියා කළේ රට රැකගැනීම පිණිස බව මහාංවසයේ දක්වා තිබේ.(සංඝානුඤ්ඤාය රට්ඨස්ස රක්ඛන්ථං කුමාරකං – අභිසංඤ්චුං ථුල්ලත්තනං තං සුත්වා ලඤ්ජතිස්සකො-වංසත්ථප්පකාසිනී 33පරි.18 ගාථාව)  මෙහි රට රකිනු පිණිස පත්කළේ ය යන වදන සැලකිල්ලට ගතයුතු වෙයි. මේ වන විට ලංකාවේ රජ්‍යත්වයට බාහිර සතුරන්ගේ අභියෝග තිබූ බවක් නොපෙනේ. අභ්‍යන්තර වියවුල් තිබෙන්නට ඇත. නුසුදුස්සෙකු බලයට පත්කිරීමට භික්ෂූන්වහන්සේලා අකමැති වන්නට ඇත. ඔවුන් විරුද්ධ වූයේ පච්ච කොටාගෙන සිටි තිස්ස හෙවත් ලඤ්ජිතිස්සට ද යන්න සිතාබැලිය යුතු ය. ලඤ්ජිතිස්ස යනු නොමග ගිය රජපුතෙක් ද යන්න ඉතිහාසය උතුම් ය යන අන්තගාමී චින්තනයට වහල් නොවී විමසුමට ලක්කළයුතු වෙයි. ඔහු සිය සොයුරා මැරිමට කටයුතු කළේ ය. ඔහු අශෝකමාලාව ඉතිහාසයේ රජපුතෙකුට කිරුල අහිමි කළ උන්මාදනීය රුවැත්තියක ලෙස වැරදිකාරියක කිරීමට මග සාදා සාලිය කුමරාට ද කිරුළ අහිමි කළේ ය. අපට මේ තුළ සිතන්නට දේ තිබේ.

ලඤ්ජිතිස්ස යන නාමය තුළින් පච්ච කෙටූ තිස්ස යන අරුත ද ගතහැකි වන්නේ ය. එය අපහාසය ද මුසු විසිළු නාමයකි. නමුත් මහාවංසයේ මේ නම දක්වා ඇත්තේ ලජ්ජිතිස්ස ලෙසිනි. එහි අරුත ලැජ්ජා තිස්ස යන්නයි. දීපවංසයේ ද ඇත්තේ එසේ ම ය. වංසත්ථප්පකාසිනියේ ඇත්තේ ලඤ්ජිතිස්ස නමිනි. ලඤ්ජිතිස්ස රජ වී කලක් යනතුරු සංඝයාවහන්සේලා හා උරණ වී සිටියේ ය. නමුත් බහුතරයක් බෞද්ධයන් විසූ රටක එය කළ නොහැකි යැයි වැටහුණු නිසා දෝ හේ පසුව වෙනස් විය. විහාරාරාම කරවා සඟසතු කොට පිදී ය. නමුත් ඔහු පිළිබඳ අප තුළ මැවී යන්නේ යුක්තිය ඉටුකිරීම තම පරම දහම ය යන ව්‍යජය හුවා දක්වමින් රට කරවූ මැරවරයෙකුට ආසන්න සිතුවමකි. මෑත ඉතිහාසයේ ද එබඳු පාලකයෝ සිට ඇත. මා වැරදි වන්නේ නම් ඉතිහාසය මා හට කමා කරනු මැනවි.

ඛල්ලාට නාග යන නාමයේ තට්ට නාග යන අරුත ද ගතහැකි වන්නේ ය. එය ද විසුළු නාමයකි. මේ විසුළු නාමයෙන් මහාවංස කතුවරයා ඔහු හැඳීන්වීමට කටයුතු කළේ ඔහු පිළිබඳව ද සඟ පරපුර තුළ ප්‍රසාදයක් නොවූ නිසා විය යුතු ය. මේ පරපුරෙන් රට ගලවාගතයුතු ය යන මතයක්  මේ වන විට මෙරට සිටි පූජ්‍ය පක්ෂ අතර වර්ධනය වී තිබූ බවක් පෙනෙයි. අභය, තිස්ස හා උත්තර යන ඔහුගේ බෑණාවරුන් තිදෙනා රජ ගෙයි දි ම මේ කුමන්ත්‍රණයට පණ දෙන්නට සූදානම් විය. මේ වන විට සංඝයා වහන්සේලා රජපුර හා මතවාදිව ගැටී යම් තීරණාත්මක ස්ථානයකට පිවිස සිටි නිසාදෝ, නොහොත්, ඔවුන් මනුෂ්‍ය ඝාතනයට හවුල් නොවීමේ ආගමික සිතුවිල්ලේ සිටි නිසා දෝ මේ රාජකීය කුමන්ත්‍රණයට භික්ෂූන් වහන්සේලා එකතු වූ වගක් නොපෙනෙයි. නමුත් විරුද්ධ වූ වගක් ද නොපෙනෙයි.  එසේ වුව ද කුමාරවරුන් තිදෙනා රජමැදුර තුළ දී ම ඛල්ලාටනාග රජු මරාදැමීමට කළ කුමන්ත්‍රණය හෙළි වූයෙන් ඔවුන් රැකවරණ පතා ගිරිනිඝණ්ටයින්ගේ අරමට පැනයැමට සිදු විය.. ගැලවීම පිණිස එය ද ප්‍රමාණවත් නොවූ නිසා ඔවුහූ ගින්නට පැන දිවි තොරකරගත්තෝ ය. මේ සිදුවීමෙන් කම්පා වූවෝ ඔවුන් ගින්නට පිවිසි තැන අග්ගිපවිසක (ගින්නට පිවිසි තැන) නමින් ස්ථූපයක් කරවූ බව සඳහන් වේ. රටක අගනුවර මේ ස්ථූපය ඉදිවූයේ රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් කළ පිරිසක් සිහිවීම පිණිස වීම විශේෂත්වයකි. එයින් අදහස් වන්නේ ඛල්ලාටනාග රජු හුදෙක් කිරුල හිසෙහි දරා සිටි නිවට රජෙකුගේ තත්ත්වයට පත්ව සිටි වග ද? ඔහුට රජමැදුර තුළින් ම විශාල විරෝධයක් වූ වග සත්‍යයකි. ඔහුර සිය යුධ හමුදාවේ හෝ සහය නොතිබූ බවක් පෙනෙයි. ඔහුගේ සෙනවියා වූ මහාරත්තක රජමැදුර තුළ දී ම ඛල්ලාටනාග රජු ඝාතනය කරන්නේ ඒ නිසා විය යුතු ය. රජමැදුරක් තුළ දී සෙන්පතියෙකු රජෙකු ඝාතනය කරන්නේ රජු තෙකරම් සෙස්සන්ගේ අප්‍රසාදයට ලක්වූ විට ද? සිතා බැලිය යුතු ය.

වළගම්බාවන් මේ පරපුරේ අන්තිමයා ය. වන ගාමිණි හෙවත් කැළෑ ගැමුණු යන අරුත දෙන වළගම්බා නාමය ඔහුට යෙදුණේ වර්ස 14කුත් සත් මසක පමණ කාලයක් ඔහු වනගතව සිටි නිසා විය යුතු ය. නමුත් මේ නාමය පිළිබඳ විවාද තිබේ. ඇතැමුන් කියන්නේ මෙහි පරිවර්තන දොසක් තිබේ ය යන්නයි. නමුත් ඒ පිළිබඳ ගැඹුරින් විමසුමට තරම් අපගේ පාලි භාෂා දැනුම පුළුල් නොවේ. මේ රජු පිළිබඳ මහාවිහාරික විරෝධයක් ඇති වූයේ අභයගිරිය නිසාවෙන් වුව ද එය තුළ තවත් අතුරු තොරතුරු රැසක් තිබේ. භික්ෂූන්වහන්සේලා වළගම්බාවන් පිළිබඳ දැක්වූ විරෝධය අති ප්‍රබල වූවක් නොවියහැක. ඔහු හැඳින්විමට විසුළු නාමයක් ද යොදා නැත. මේ තුළින් වංසකතා රචක භික්ෂූන්වහන්සේලා රජවරුන්ට විසුළු නාම යෙදුවේ ය යන නිගමනයට නොඑළඹෙන්න. මන්ද එය එසේ වූ වගට හෝ නොවූ වගට පැහැදිලි සාධක අපට නොමැති නිසා ය. කෙසේ වුව ද අභයගිරිය තිස්ස හිමියන්ට පෞද්ගලිකව පිදීම නිසා මිස වළගම්බාවන් සමග වෙනත් විරෝධයක් තිබූ බවක් නොපෙනෙයි. නිඝණ්ඨාරාමය එකී ස්ථානයෙන් හෙවත් බෞද්ධයින්ගේ පූජනීය නගරයෙන් ඉවත් කිරීම පිළිබඳ භික්ෂූන්වහන්සේලාගේ ද ප්‍රසාදයත් තිබෙන්නට ඇත. මේ නිසා දෝ මහාවංසය තුළ වැඩි වර්ණනාවකට පාත්‍ර කර නැතත් වළගම්බාවන් පිළිබඳ සංඝයාවහන්සේලාගේ ආකල්පය ඔහුගේ පරපුරේ සෙසු අය පිළිබඳ ආකල්පයට වඩා යම් වෙනසක් ඇති එකක් බව පෙනී යයි.

එතුමා බලයට පත්වූ දා පටන් මුහුණ දුන් අභියෝග සහ ඒවාට මුහුණ දුන් ආකාරය තුළ වත්මනට ගතහැකි ආදර්ශ රැසක් තිබේ. මහාවංස කතුවරයා පෞද්ගලික හේතු සාධක මක අභිරුචියෙන් යුතුව වර්ණනා නොකළ ද වලගම්බා රජු ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වන නිසා ඒ පිළිබඳ සඳහන් කළයුතුම ය. එතුමා මුහුණ දුන් අභියෝග මෙසේ වර්ග කළ හැක.

  • රජමැදුරේ අභ්‍යන්තර කුමන්ත්‍රණය.
  • තීය බමුණාගේ කැරැල්ල.
  • සත් ද්‍රවිඩ ආක්‍රමණය.
  • වනගතව සැඟවී සිටිමින් තම ආරක්ෂාව තහවුරු කරගැනීම.
  • පාත්‍රා ධාතුව හා සිය දේවිය අහිමිවීම.
  • සාගත සමයක සේනා සංවිධානය කිරීමට සිදුවීම.
  • හදිසි කෝපය වැනි තමාගේ ම දුර්වල සිතුවිලි.

වළගම්බා රජු බලයට පත්වන්නේ අභියෝග කිහිපයක් මැද ය. මේ යුගයේ ලංකාවේ රජ පරපුර කෙරේ අන්‍යාගමික විරෝධයක් තිබූ බව පැහැදිලිය. සද්ධා.තිස්ස රජුගේ බාල පුතු වූ වලගම්බාවන් (වට්ඨගාමිණී අභය) බලයට එන්නට පෙර ඛල්ලාට නාග නමින් රජ ව සිටියේ වලගම්බාවන්ගේ සෙහොයුරෙකි. සද්ධාතිස්ස රජුගේ වෙනත් බිසවකගේ දියණියක වූ සෝමා නමැත්තියගේ දරුවන් තිදෙනෙකු වූ තිස්ස,අභය හා උත්තර යන කුමාරවරුන් තිදෙනා ඛල්ලාටනාග රජු මැරීමට කුමන්ත්‍රණය කළ අතර, කුමන්ත්‍රණය හෙළි වීම නිසා ඔවුන් ගිරි නිඝණ්ඨාරාමයට පැන ගිය බව සඳහන් ය. ඉන්පසු ඔවුන් එහි දී ගින්නට පැන දිවි නසාගත් බවත් සඳහන් ය.[1] මේ සිදුවීම සියුම් ව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ නිඝණ්ඨයින් රජපරපුර කෙරේ අප්‍රසාදයෙන් සිටි බවකි. ඉන්දියාවේ ද මෙවැනි ආකාරයට නිඝණ්ඨයින් කුමන්ත්‍රණ සිදු කර ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි.[2] නිඝණ්ඨයින් යනු ජෛන භක්තිකයින් ය. ගින්නට පැන දිවි නසාගැනීමේ ක්‍රමවේදය මේ ආගම හා සබඳතා ඇති ක්‍රමයකි. කුමාරවරුන් තිදෙනා කුමන්ත්‍රණය හෙළි වීමෙන් පසු නිඝණ්ඨාරාමයට පැන යෑමත්, ගින්නට පැන දිවි නසා ගැනීමත් නිසා පෙනී යන්නේ මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා මෙම ජෛනභක්තිකයින් අතර සබඳතාවක් ඇති බවයි. කුමාරවරුන් තිදෙනා ද ජෛනාගම අදහන්නට හෝ ඒ පිළිබඳ ප්‍රසාදයකින් ඉන්නට හෝ ඇත.

කෙසේ වුව ද මේ කුමන්ත්‍රණයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් මහාරත්ථක නම් සෙනවියා විසින් ඛල්ලාටනාග රජු බලයෙන් පහ කර(මරා) රාජ්‍ය බලය ලබාගැනීමට උත්සාහ කළේ ය. නමුත් වළගම්බාවන් විසින් මේ තත්ත්වය වලකා මහාරත්ථක පරදා සිහසුන ලබා ගත්තේ ය.[3] නමුත් වලගම්බාවන් බලයට පත් වූයේ තමාට පක්ෂ පිරිසක් සිටි වටාපිටාවක නොවේ. සෙනෙවිවරයෙක් විසින් බලය පැහැර ගත්තේ නම් ඔහු හුදෙකලා චරිතයක් විය නොහැක. නිසැක වශයෙන් ම ඔහුට උපකාර කළ පිරිසක් රජමැදුර තුළ ම සිටින්නට ඇත. මේ නිසා වලගම්බාවන්ට තම අවට පිළිබඳ සැලකිලිමත් වන්නටත්, හිතවත් හා අහිතවත් පුද්ගලයින් හඳුනාගන්නටත් සිදුව තිබුණි. නමුත් ඒ සඳහා හෝ කාලයක් නැතිව ගියේ රුහු‍ණේ නකුළගාමය මුල් කරගනිමින් අතිවූ රාජ්‍ය විරෝධී කැරැල්ල නිසා ය. තිස්ස නම් වූ තරුණ බ්‍රාහ්මණයෙක් කැරැල්ල ඇති කර තිබුණි. තිස්ස බ්‍රාහ්මණයා රජවන්නේය යනුවෙන් තවත් බමුණෙකු විසින් අනාවැකියක් ලෙස සමාජගත කළ අදහසක් නිසා ඉන් රැවටුණු රටවැසියන් බොහෝ දෙනෙක් ද තීය බමුණාට එක් වී තිබුණි. මෙයින් පෙනී යන්නේ ද රටවැසියන් පිරිසක් තුළ පවා සද්ධාතිස්ස රජුගේ දරුපරපුර පිළිබඳ එතරම් ප්‍රසාදයක් නොවූ බව යි. මන්ද තීය බමුණා හා එක් වූ සියල්ලෝ බමුණු කුල පිරිස් යැයි සිතීමට අපහසු ය. එතරම් විශාල බමුණු කුලිකයන් පිරිසක් එකල ලංකාවේ සිටියේ යැයි සිතීමට අපහසු ය. මෙහි සිටියේ බමුණන් පමණක් නම් රජුට මේ පිරිස මර්දනය කිරීම පහසු වන්නට ඉඩ තිබුණි. පසු කාලයේ ඇති වූ සාගත තත්ත්වය පිළිබඳව ද අවධානය යොමුකළ හොත් පෙනී යන්නේ තිස්ස බමුණා සමග එක්වූ පිරිස මෙරට ගොවි තරුණයන් බවයි. ඔවුන් මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මියයන්නට හෝ ආබාධිත තත්ත්වයට පත්වන්නට ඇත. වැව් අමුණු හා ඇළමාර්ග අලුත්වැඩියාව, ක්‍රමවත් පරිදි නිසි කලට කෘෂි කටයුතු මෙහෙයවූ ග්‍රාමීය මට්ටමේ සුළු පරිපාලන ආයතන මධ්‍යම රජයේ අනවධානය නිසා ආකාර්යක්ෂම වීම වැනි කරුණු නිසා ලංකාවේ කෘෂි කටයුතු ද මෙකල අඩාල වන්නට ඇත. තවත් අතකින් බලන්නේ නම් එළාර හා යුධ වදින්නට වළගම්බාවන්ගේ ‘මහප්පාට‘, එනම් පියාගේ වැඩිමහල් සොයුරාට යෝධ ශක්තියක් සම්පාදනය කළ රුහුණ ම ඉන් අඩසියවසක් නික්මෙන්නටත් පෙර මේ පරපුරට විරුද්ධව අබෞද්ධයෙකුගේ නායකත්වයෙන් සංධාන ගත වී තිබේ. එය ගැඹුරින් විමසිය යුතු කරුණකි. වළගමිබාවන් මේ නිසා සත් දුවිඩාක්‍රමණ අවස්ථාවේ ආරක්ෂාව පතා රුහුණට ගියේ ද නැත. රුහුණ බොහෝ ආක්‍රමණකාරී කාලවල රජවරුන්ට රැකවරණයත් යුධ ශක්තියත් දුන් ස්ථානයකි. නමුත් වළගම්බාවන් රුහුණට යන්නේ සතුදුවිඩයන් පැමිණ වර්ෂ දොළහක් දහතුනක් පමණ ඉක්ම ගිය පසුව ය. මෙය විමසුමට ලක්කළ යුතු තත්ත්වයකි.  කෙසේ වුව ද තිස්ස බමුණාගේ කැරැල්ල ඇරඹුණු වහා ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයින් සත් දෙනෙක් ද විශාල බල සෙනගක් සමග ලංකාවට ගොඩබැස්සා හ. දෙපාර්ශ්වයකින් එල්ලවන අභියෝගයට තමාට තනිව මුහුණ දීමට අපහසු බව දැනගත් වළගම්බා රජු තීය බමුණා සත් ද්‍රවිඩයන්ට විරුද්ධව සටනට පෙළඹවිය.

‘‘මෙහි රජ්‍යය දැනටම  ඔබ අත ය. එය අද ම ගත හැකි ය.මහතොටට පිරිස් සහිත දෙමළු සත් දෙනෙක් ගොඩ බටහ. තොපි පළමුකොට ම ඔවුන් ගනුව ‘‘

යනුවෙන් සඳහන් තල්පතක් තීය බමුණා වෙත යැවූ වළගම්බා රජු සතුරාගෙන් සතුරා නැසීමට උත්සාහ කළේ ය. මෙය නීතිමා ක්‍රමය ලෙස හැඳින්වේ. තල්පතකින් තල් පතක් සිඳින්නා සේ සතුරාගෙන් සතුරා නැසීමට කටයුතු කිරීම ඒ ක්‍රමය යි.  නමුත් ඇතැම් මූලාශ්‍රය වල සඳහන්වන්නේ තිස්ස බමුණා සත්ද්‍රවිඩයන් හා එක් වූ බවයි. සම්මෝහවිනෝදනිය වැනි අටුවා උපුටා දක්වමින් ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය කෘතිය සඳහන් කරන්නේ වළගම්බාවන් වනගතව සිටි සමයේ ලංකාව පාලනය කළේ තිස්ස බමුණා බවයි. ඇතැම් විට තිස්ස බමුණා නාමික පාලකයා සේ තබාගනිමින් ද්‍රවිඩයන් රට පාලනය කරන්නට ඇතැයි ද එම කෘතියේ වැඩිදුරටත් සඳහන් වේ. මේ සඳහා හේතුවන්නට ඇත්තේ තිස්ස බමුණාට දේශීය මහජන සහයක් තිබූ නිසාත් ද්‍රවිඩයන්ට එසේ සහයක් නොතිබූ නිසාත් විය යුතුය. මේ බමුණා නාමික රජෙකු වී නිසා ලංකාවේ කෘෂි අර්ථ ක්‍රමය ඔහුගේ සමයේ බිඳ වැටෙන්නට ඇත මේ නිසා සාගත තත්ත්වයක් ඇතිවන්නට ඇත. රට පාලනය කළේ කවුරුන් වුව ද පාලක තනතුරේ සිටියේ තිස්ස බ්‍රාහ්මණයා නිසා ඔහුගේ පාලන සමයේ ඇති වූ සාගතය බැමිණිතියා සාගතය නමින් හඳුන්වන ලදැ‘යි ද අනුමාන කළ හැකි වේ.

නමුත් මහාවංසය ඇතුළු පසුකාලීන මූලාශ්‍රය වල සඳහන්වන අන්දමට සත් ද්‍රවිඩයන් හා යුධට ගිය තීය බමුණු සංකේතහාල නම් ස්ථානයේ දී පරාජයට පත් විය.  ඉන්පසු අනුරාධපුරය දෙසට එමින් සිටි සත් ද්‍රවිඩයින්ගේ ගමන අඩාල කරනු පිණිස සිය හමුදා ඉදිරියට පිටත් කර යැවූ රජු, සිය හමුදාවන්ගේ ජය පරාජය පිළිබඳ තොරතුරු විමසමින් අනුරාධපුරයත් කෝලම්බහාලකයත් අතර ස්ථානයක රැඳ සිටියේ ය. සිය හමුදා පරාජය වූ පුවත අසා වහා ම සිය බිසවත් සිය සොයුරු ඛල්ලාටනාගයන්ගේ ගැබිණි බිසව හා ඔහුගේ පුත් මහාචූලික කුමරුත් රැගෙන වෙස්සගිරි වන පෙදෙසට පළාගියේ ය. ඔහු මේ පිරිස ගනු පිණිස අනුරාධපුර නගරයට පැමිණෙන අතර ගිරි නිඝණ්ඨයා හමු විය. නිඝණ්ඨයා මේ පරපුර හා අමනාපයෙන් පසු වූ නිවා ඔහු රජුට එහි දී අපහාස කළ බව සඳහන් වේ. රජු ඇතුළු පිරිස පලාගියේ  අසුන් එකෙකු හෝ දෙදෙනෙකු  බැඳි කුඩා අශ්ව කරත්තයකිනි. ඒ එක්කෝ ගමන ඉක්මන් කළයුතුව තිබූ නිසා ය. නැතහොත් හදිසියේ අසුන් කිහිපදෙනෙකු බැඳ වෙනත් විශාල රථයක් සූදානම් කරගැනීමට අපහසු නිසාය. කෝලම්බහාලක නම් ස්ථානයේ දී වලගම්බා සේනා පරාජයට පත් කළ සත් ද්‍රවිඩයෝ තවදුරටත් රජු පසුපසින් ලුහුබැඳ පැමිණිය හ. මෙහි දී රජුට ඉක්මනින් පැන යෑමට පහසු වන සේ සෝමා දේවිය රථයෙන් බැසගත් බවත්, ඇය සතුරන් අතට පත් වූ බවත් සඳහන් වේ. මේ ස්ථානයේ අද ඇය සිහිවීම පිණිස ලංකාරාම නමින් දාගැබක් ඇත.

පලාගිය රජුට ඉතා දුෂ්කර දිවියක් ගත කිරීමට සිදු විය. ආක්‍රමණිකයින්ගෙන් ගැලවී සිටීම මහත් අභියෝගයක් විය. මේ අභියෝගය ජයගනු පිණිස එක් තැනක සැඟවී නොසිට විවිධ ස්ථාන වලට මාරු වීමට රජු කටයුතු කළේ ය.

රජු මෙලෙස පලා ගිය නිසා එතැන් පටන් යළිත් අනුරාධපුරයේ ද්‍රවිඩ පාලනයක් ඇති විය. දෙමළ අධිපතීන් සත්දෙනාගේ එක් අයෙක් සෝමා දේවියද තවත් කෙනෙක් පාත්‍ර ධාතුවද රැගෙන යළිත් ඉන්දියාවට ගිය අතර අනික් පස්දෙනා උනුන් මරාගනිමින් වසර දහහතරකුත් සත්මසක් ලක් සිහසුන හෙබවූහ. සෝමා දේවිය හා පාත්‍රා ධාතුව රැගෙන පලා ගිය දෙදෙනා සැබෑ ලෙස ම ඉන්දියාවට පලා ගියේ ද යන්න සැක සහිත ය. ඔවුන්ගේ මුල් අදහස වන්නට ඇත්තේ ලංකාවේ රජ වීම ය. සෝමා දේවිය හිමි කර ගැනීම රාජ්‍යත්වයට සුදුසුකමක් සේ සැලකූ නිසා එක් අයෙක් ඇය හිමි කරගන්නට ඇති අතර පාත්‍රා ධාතුව ද රාජ්‍යත්වයේ සංකේතයක් වූ නිසා තවත් අයෙක් එය හිමි කරගන්නට ඇත. නමුත් ඔවුනට ලංකාවේ රජවීමට අවස්ථාවක් උදා නොවූයේ සෙසු දුවිඩයන් පස් දෙනා  මේ දෙදොගේ අවස්ථාවාදී ක්‍රියාවට විරුද්ධ වීම නිසා විය යුතු ය. මේ නිසා ඉතිරි පස්දෙනා ඔවුන් එකිනෙකා මරා ගනිමින් බලයට පත්වූහ. මේ ආකාරයට ස්වකීයයන් ම ඝාතනය කරමින් බලය ලබාගැනීමෙන් ම පැහැදිලි වන්නේ බලලෝභීත්වය නිසා ඔවුන් අතර ද අසමගිකම් මතුව තිබූ බවකි. එයින් මුල් දෙදෙනා සෝමා දේවිය හා පාත්‍රා ධාතුව රැගෙන යන්නට ඇත්තේ ද බලලෝභීත්වය නිසා වග සනාථ වේ. ඔවුන් ඉන්දියාවේ මවු රාජ්‍යයක් විසින් මෙහෙයවනු ලැබූ සෙන්පතියන් නොවූ වගත් හිතුමතේ ආ ආක්‍රමණික පිරිසක් බවත් සනාථ කිරීමට ද මේ කරුණු ප්‍රමාණවත් වේ.

පලාගිය වළගම්බා රජු ඇතුළු පිරිස සැඟවී සිටියේ වෙස්සගිරි විහාරය බද වනාන්තරයෙහිය. මේ වනාහි වත්මන් වෙස්සගිරිය විය නොහැක. එහිදී කුපික්කල මහාතිස්ස නැමති භික්ෂුන්වහන්සේ නමක් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිසට ආහාර සැපයූහ. එතැනින් පලාගොස් සල්ගල අසල මාතුලවේලංග නමැති ස්ථානයෙහි සැඟවී සිටියේය. කුපික්කල තිස්ස තෙරණුවෝ එතැනට පැමිණ රජුට උපස්ථාන කළේය. එහෙත් රජු තමා වළගම්වා බව එතෙක් කිසිවකුටත් හෙළිකර නොතිබිණ. නමුත් මෙහි දී එක් අවාසනාවන්ත සිදුවීමක් අසන්නට ලැබේ. වසර දහහතරක්ම අනාගත ලක් රජුන්ට ඇප උපස්ථාන කළ තනසීවට අත්වීමට තිබූ වරප්‍රසාද ගැහැනු ආරවුලක් නිසා අහිමිව ගියේ ය. ආරවුල ඇති වූයේ තනසිවගේ බිරිඳ හා රජ බිසව පලා නෙළීමට ගිය අතරතුර ය. කුමන හෝ හේතුවක් නිසා තනසීවගේ බිරිඳ අනුලා දේවියගේ පලාපැසට පයින් ගැසුවාය. විපතට පත්ව සිටිය ද රජ පවුලක උපන් තමාට කළේ බලවත් අවනම්බුවකැයි සිතූ අනුලා දේවිය අඬමින් අවුත් එපුවත රජුට සැළ කළාය. ප්‍රශ්නය දුරදිග යාමට පෙර එතිනින් ඉවත්ව යාම සුදුසුයැයි සිතූ රජු තම අඹුදරුවනුත් ගෙන එතැනින් පලා ගියේය. තනසීවගේ බිරිඳ ද අවුත් තනසීව උසිගැන්වූයෙන් කිපුණු ඔහු දුන්නක් ගෙන රජුට විඳීමට ගියේය. එහිදී තම ආරක්ෂාව පතා වළගම්බා රජු විසින් තනසීව මරණයට පත්කරන ලදී. එහෙත් රජුට එයින් බලවත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය ආගන්තුක තැනැත්තෙක් තම නායකයා මරා දැමීම පිළිබඳ ප්‍රදේශවාසීහු කුපිත පත් වූහ. එබැවින් මේ අවස්ථාවේ රජුට තම රහස හෙළි කිරීමට සිදුවිය. එය රජුගේ යහපතට හැරුණු බව පෙනේ. සැඟවී සිටි ආගන්තුකයා වළගම්බා රජු බව දැනගත් ප්‍රදේශ වාසීහු ඔහු වටා රොක් වන්නට වූහ. ද්‍රවිඩයන් තම රටේ බලය තහවුරු කරගැනීම පිළිබඳ මහජනයා තුළ පැවති අප්‍රසාදය හා ලක් සිහසුන උරුම තැනැත්තාට මහජනතාවගේ ඇති ළැදියාව මෙහිදී අවබෝධ වේ. අනෙක් කරුණ නම් එකිනෙකා මරා ගනිමින් බල ලෝභීව හැසිරුණු ද්‍රවිඩයන් රටවැසියන්ට සේවයක් කළේ යැයි සිතිය නොහැක. මේ නිසා මහජනයා තුළ ද්‍රවිඩ පාලනය පිළිබඳ අප්‍රසාදයක් තිබෙන්නට ඇත.

වලගම්බා රජුට ද මේ අවස්ථාවේ තම ආරක්ෂාව පිළිබඳ සිතන්නට සිදුව තිබුණි. එක් ස්ථානයක රැඳීම ආරක්ෂාවට තර්ජනයක් වූ නිසා එතැනින් නික්මුණු රජු තමාට උපකාර කළ තෙරුන්ගේ විහාරස්ථානය යැයි සිතිය හැකි වලස්ගල විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත විණි. දෙමළ සතුරන්ට විරුදධව සටන් කොට ජයගත් තම පරපුරේ දුටුගැමුණු ආදී මුතුන් මිත්තන්ට පක්ෂපාතී වීරෝධාර රුහුණු ජනතාව යළිත් එබඳු සටනකට යොදා ගැනීමේ අරමුණ ඇතිව වළගම්බා රජු රුහුණ බලා පිටත්වීය. නමුත් වලගම්බා රජුට මෙහි දී තමාගේ ම හදිසි තීරණ වල විපාක විඳින්නට සිදු විය. තමා විපතට වැටී සිටින විට ඉක්මන් වීම නුසුදුසු බව දැක්වෙන සිද්ධියක් ආකාශ චේතියේ දී වළගම්බා රජු  අතින් සිදුවිණ. සිදුවීම මෙසේ ය

දිනක් රජු සමඟ එක්වූ රණශූර ඇමතියන් අතර සිටි කපිසීස නැමති ඇමතියා සෑගිරිය ඉහළට නැග පහළට බසිමින් සිටියේය. රජුත් දේවියත් ඉහළට නගිමින් සිටියේ ය. මාර්ගය පටු හා දුෂ්කර බැවින් ද, රජුට මාර්ගයේ ඉඩදිය යුතු වූ බැවින් ද, වෙනත් දෙයක් කළ නොහැකි නිසා ද කපිසීස කළේ  පඩිපෙළ මත හිඳ ගැනීමය. එහෙත් සිදු වූයේ අනපේක්ෂිත දෙයකි. කපිසීසගේ ක්‍රියාවෙන් රජතුමා තදින් ම කිපුණේ ය. තමාට කපිසීස දණ්ඩ නමස්කාරය නොකළේයැයි කිපුණු රජු ඔහුට කඩුවෙන් ගසා මරණයට පත් කළේය. හදිසි කෝපය හා දුරදිග නොබැලීම නිසා රජු සිදු කළ මේ අමානුෂික ක්‍රියාව පිළිබඳ කලිකිරිණු ඉතිරි ඇමතිවරු සත්දෙන රජු හැරදමා එතැනින් පලා ගියහ.

නමුත් මෙසේ පලායන ඔවුහු සොර මුලකට මැදි වූ අතර සොරු ඔවුන්ගේ බඩු පැහර ගත්හ. එයින් අසරණ වූ ඔවුහු ඒ අසළ පිහිටි හම්බුගල්ලක නමැති විහාරස්ථානයට ගියහ. එහි වැඩ සිටි තිස්ස නමැති බහුශැත තෙර නමක් ඔවුන්ට ආහාරපාන වස්ත්‍රාදියෙන් සංග්‍රහ කොට යළිත් රජු සමඟ සමගිය ඇති කරවා ගත්තේය.

ඒ කාලවකවානුව වන විට අනුරාධපුරයේ රජකම් කළේ දාඨික නම් දෙමළ රජුය. රජකම වෙනුවෙන් ඔවුන් අතර කාලයක් තිස්සේ පැවති අරගලය නිසා රාජ්‍ය පාලන කටයුතු දුර්වල තත්වයක පැවතිණි. රජවැසියන් සිංහල රටෙහි සිහසුනට නියම උරුමක්කාරයෙකු සොයමින් සිටින්නට ඇති බවට සැකයක් නැත. මේ වන විට වළගම්බා රජු වටා ජාති මාමක විශාල පිරිසක් එක්රොක් වී සිටියහ. ද්‍රවිඩ පාලනය යටතේ විඳින්නට සිදු වූ දුක්ගැහැට නිසා  රටවැසියා තුළ සද්ධාතිස්ස පරපුර පිළිබඳව පැවති අප්‍රසාදය පහව යමින් පැවතුණා විය හැක. මේ නිසා ම යුද්ධයකට නොබියව මුහුණ දීමට තරම් හමුදා ශක්තියක්ද රජු වටා වර්ධනය වී තිබිණ. ඊට අනුව ප්‍රහාරයක් සඳහා හොඳ ම අවස්ථාව බලා රජු වහා ක්‍රියාත්මක විය. අනුරාධපුරයට දරුණු ප්‍රහාරයක් එල්ල කොට දාඨික රජු මරා අහිමිව තිබුණු සිහසුන යළිත් අත්පත් කර ගත්තේය. මේ වනාහි දාහතර වසරකට අධික කාලයක් මෙරට පැවති ආක්‍රමණික පාලනයක් නිම කළ සුවිශේෂී සිදුවීමක් විය. සිහසුන ලැබගත් පසුව රජතුමා පළමුව සිදුකළ කාර්යය වූයේ ගිරි නිගණ්ඨයාගේ ආරාමය එතැනින් ඉවත් කර එහි විහාරයක් කරවීමයි. එය අභයගිරිය[4] නමින් නම්කරන ලදී.  මේ අභයගිරි විහාරය රජතුමා විසින් පූජා කරන ලද්දේ තමා විපතේ වැටී සිටියදී උදව් කරන කුපික්කල මහාතිස්ස තෙරණුන්ටය. මෙය ලංකාවේ සිදුවූ පළමු පෞද්ගලික ආරාම පූජාව සේ පිළිගැනේ. එමෙන් ම මේ නිසා ලංකාවේ එතෙක් පැවති මහාවිහාරය මුල් කරගත් භික්ෂු පරපුරට අභියෝගයක් එල්ල වූ අතර නිකාය භේදයක් ද ඇතිවිය. පෞද්ගලිකව ආරාම පූජාව පිළිගත් නිසා මහාවිහාරය විසින් කුපික්කලතිස්ස හිමි මහාවිහාරයෙන් නෙරපා හරින ලදී. නමුත් මේ පිළිබඳ විවිධ විවාද තිබේ.

අභයගිරි නාමය පිළිබඳව ද මතවාදයක් තිබේ. මෙය ඇතැම් ශිලාලේඛන වල එන්නේ අබයගර, අපහයගර, අබයගරි ආදී නම් වලිනි.උදාහරණයක් ලෙස මළුතිස රජුගේ අභයගිරි සලපතළමළු ලිපිය බලන්න. එහි ඇත්තේ අබයගරි යන වදනයි. අභය රජු කරවූ ගෑහය හෙවත් විහාරය යන්න එහි අරුතයි. වසර දාහතරක් සිතේ තබාගෙන සිටි කෝපය නිඝණ්ඨාරාමය වැනසීමෙන් සංසිදුවාගත් රජු එහි ඉදිකළ දැවැන්ත ථූපය ප්‍රධාන විහාරයට නිඝණ්ඨයාගේ නාමය එක්කරගත්තේ ය යන්න සත්‍යයක්ම ද යන්න විමසුමට බඳුන්කළ යුතු ය.

අභයගිරියට අමතරව තමන් සමඟි කළ හම්බුග්ගල්ලක විහාරයේ තිස්ස තෙරනුන්ට රජුගේ සේනාපතිවරු විහාර කීපයක් සාදවා පූජා කළහ. මේ සෑම විහාරස්ථානයකටම සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සංග්‍රහ කිරීමට වළගම්බා රජු පියවර ගත්තේය.

රජුගේ සෘජු මැදහත්වීමකින් තොරව වුව ද මෙකල ප්‍රදේශීය පාලකයෙකු මුල් වී මාතලේ අලෝක විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථ ගත කළ බව ද සඳහන් වේ. මෙතෙක් කල් මුඛ පරම්පරාවෙන් රැගෙන ආ ත්‍රිපිටකය බැමිණිතියා සාගතය සමයේ තර්ජනයකට මුහුණ දීම නිසා මෙසේ සිදුකරන ලදී. ත්‍රිපිටකය කටපාඩමින් ගෙන ආ භික්ෂූන් වහන්සේලා ආහාර හිඟතාව නිසා අපවත් වූ අතර මේ නිසා මෙම වටිනා සද්ධර්මය ද විනාශවන ලකුණු පහල විය. ත්‍රිපිටකය ග්‍රන්ථගත කළේ එබැවිනි.

වළගම්බා රජු දුටුගැමුණු රජතුමා තරම් වීරයෙකු ලෙස මහාවංශයේ වර්ණනාවට පාත්‍ර නොවූව ද, වසර දා හතරකුත් මාස හතක් පමණ කාලයක් නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ පාමින් වනගතව සිට, සාගත සමයක,  ද්‍රවිඩ සතුරන්ගෙන් රට ජාතිය ආගම බේරා ගැනීමට සේනා සංවිධානය කරමින් ජීවිතය ජීවිතය කැප කිරීම බෙහෙවින් අගය කළ යුත්තකි. එතුමා රජ වීමෙන් පසුව ඒ වන විට දකුණු ඉන්දියාවේ සිටි සෝමා දේවිය ගෙන්වා නිසි තනතුරෙහි තැබීය. එතුමා ඇගේ නමින් සෝමාරාමය නැමති විහාරය කරවීය.

එතුමා වනගතව හිඳිමින් රාජාංගණය(රජගෙයි මිදුල)සිහිනයෙන් දුටුවේ ය. රැයක් දෙකක් නොවේ. සතියක් මාසයක් නෙවේ. වර්ෂ දාහතරකි. අවසානගේ ඔහු රාජංගණයට පමණක් නොව රජගෙට ම යළි සපැමිණියේ ය.

පසු සටහන-අතීතය නිරන්තරයෙන් ම උත්තරීතර නොවේ. නමුත් අප එය එසේ ම දකින්නට උත්සාහ කරමින් සිටිමු. දේශපාලකයින් යනු පරිණාමය නොවන්නා වූ සත්ත්ව කොට්ඨාසයකි. එදා පටන් අද දක්වා ම ඔවුන්ගේ නම් ගම් හැර වෙනස් වූ අන් දෙයක් නොමැත්තේ ය. මහජනයා ද ඊට නොදෙවෙනි ය. අන්ධ භක්තිය, වහල් චින්තනය, නූගත්කම, මන්ද බුද්ධිකභාවය, තමන්ට ඇති පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඔවුන් ඉතා කැමැත්තෙන් ම මුග්ධ දේශපාලකයින්ට රැවටෙති. එසේ රඟති. දෙපාර්ශ්වය ම එකිනෙකා රවටා ගන්න නිසා කොතැනක හෝ සත්‍ය්‍ය මතු වන්නේ නැත. යුක්තිය ඉටුවන්නේ නැත. බුද්ධිය මතුවන්නේ ද නැත. අතීතයේ සිට ම වෙළඳ නෞකා මාර්ගයක සන්ධිස්ථානයක, කේන්ද්‍රස්ථානයක සිටි අපි මේ අතිශය වාසිසහගත තත්ත්වයෙන් අත්කර ගත් වාසිය කුමක් ද? නැව්ගතකිරීම හා ප්‍රතිනැව්ගතකිරීම තුළින් ම සුරපුරයක් කරන්නට තිබූ මේ දේශයේ අද ඇත්තේ මොනවා ද? ගෙදර ගසේ ඵලදාව පිටස්තරයින් නෙළාගෙන අපට දතනියවමින් යන තත්ත්වයක් දක්වා ආ අපි කුමන අභිමානවත් ජාතියක් ද? කුමන අභිමානවත් අතීතයක් ද?

අප කළ යුත්තේ කුමක් ද?

අතීතය පාඩමක් විය යුත්තේ වර්තමානයටය. නැතහොත්  අනාගතය දඬුවමක් වනු ඇත. දේශපාලකයින්ගේ ස්වභාවය අවබෝධකරගනිමින් සුදුසු ම හා බුද්ධිමත් ම තීරණ ගෙන වර්තමානය සකස්කරගතයුතුව ඇත. එවිට  අභිමානවත් අතීතයක් ද, පැහැබර අනාගතයක් ද උදා වේ.රාත්‍රිය පුරා සිහිනයේ රැඳී ඉන්න. නමුත් දිවා කාලයේ ඒ වෙනුවෙන් කැපවන්න. දහවලේ සිහින නොදකින්න. රාත්‍රියේ ඒ උදෙසා කැපවීම උගහට ය.

 

අමිල උඩවත්ත.

[1] මේ ස්ථානයේ පසුකලෙක අග්ගිපවෙසක නමින් ථූපයක් ද කරවා ඇත.

[2] ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය කෘතියේ 161 පිටුව.

[3] දුටුගැමුණු රජුගේ හදිසි මරණයත්, සාලිය කුමරුට රජකම නොලැබීමත් ආදිය පිළිබඳ ඉතිහාසයේ කවර කරුණු සඳහන් වුව ද, මේ සිදුවීම් සමග සද්ධාතිස්ස රජු හා ඔහුගේ පරපුර කෙරේ මහජනයාගේත් සංඝ සමාජයේත් යම් අප්‍රසාදයක් පැන නැගුණු බව පෙනෙයි. විශේෂයෙන් ම සාලිය කුමරුන්ට රාජ්‍යත්වය අහිමි කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ලජ්ජිතිස්ස කුමාරයා සිටින්නට ඇති බව සැක කළ හැක. ඔහු රජවනවාට භික්ෂූන් වහන්සේලා හෝ ඇමතිවරු අකමැති වූයේ ද, ඔහුට නොදන්වා ම ථුල්ලත්ථන කුමරු බලයට පත් කළේ ද ඒ නිසා විය යුතු ය. කෙසේ වුව ද සද්ධාතිස්ස රජුගේ දරු පරපුර කෙරේ මෙරට සංඝ සමාජයේ ද සෙසු ආගම් ඇදහූවන් අතර ද, ඇමතිවරු අතර ද  එතරම් ප්‍රසාදයක් තිබූ බවක් නොපෙනෙයි.

[4] ශිලාලේඛන වල මෙහි නම යෙදී ඇත්තේ අභයගර හා අපයහගර යන නම් වලිනි. එහි අදහස නම් අභය නමැත්තා කරවූ විහාරය යන්නයි. අභයගිරි යනුවෙන් එහි නම වෙනස්වූයේ කලක් යනවිට සිදුවූ උච්ඡාරණ විපර්යාස නිසා විය යුතු ය.