WordPress WooCommerce Themes

කම්බිලි දෙවියන්-ශකිල රාජකරුණා

දවස් දෙක තුනකට කලින් “කම්බිලි දෙවියන්” ගැන කතාබහක් කෙරුණු නිසා, නිවාඩුව මගෙ ගාව තියෙන කවි අත් පිටපත් සහ පුස්කොළ පොත් ටික පෙරලලා බැලුවා. ලංකාවේ දෙවිවරු සහ යක්ෂයන් ගැන සාමාන්ය මිනිස්සු අතර තියෙන ආකල්ප මොන වගේ ද කියන එක හොයලා බලන එකත් හරි අපූරු වැඩක්.
කම්බිලි කියන්නේ වන්නි හත් පත්තුව සහ රජරට ප්රදේශවල ආදරෙන් ගෞරවෙන් අදහන දෙවියෙක්. දෙවියෙක් කීවට ඇත්තට ම ඔහු යකෙක්. කම්බිලි ගෙ හොඳ ම යාලුවා තම යි කඩවර කියන්නේ. කඩවර එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයිලු. නමුත් කම්බිලි එහෙම නැතිලු. කේන්ති ගියපු වෙලාවක උනත් කම්බිලි කේන්තිය ඉක්මනින් නැති කරන්න පුළුවන් කියල යි විශ්වාස කරන්නෙ. ඒ වුණත් ඔහු ටිකක් හිතුවක්කාර, සැඩ පරුෂ යකෙක්. ඇතැමුන් ගෙ විශ්වාසවල විදියට අනුරාධපුර ශ්රී මහා බෝධිය ආරක්ෂා කරන “කළු බණ්ඩාර දේවතා” කියන නමින් හඳුන්වන්නෙත් මේ කම්බිලි තුන් කට්ටුවට අයිති කළු කම්බිලි යක්ෂයා ව.
කරන පෙරලි කම්බිලි දෙවි අවතාරෙට අල්ලා සිට
පොරන එ සම්මත නිරිඳු ගෙ නීලා යෝධයා ලෙසට
සරන මුනිඳු අණ පිරිතෙන් බැම්මට අසු කරලා සිට
කරන ලෙසට මුර බාර යි ශ්රී මා බෝදින් සාමිට
සිද්ධ එ සිරිමා බෝදිය මද්ද දේසයට වඩින්ඩ
සුද්ද එ අනුරාදපුරේ ජය භූමියෙ වැඩ සිටින්ඩ
සිද්ද පතිනි අවසර දී එරන් තොරණ මුර කරන්ඩ
සුද්ද කිරි ද ලෝ ද කියා රං කඩුවෙන් ඇන බලන්ඩ
නුවර කලාවියෙ කම්බිලි දෙවියන් ගෙ පිහිටෙන් යකැදුරුකම් කරන වෙන ම යකැදුරෝ ඉන්නවා. ගම්භාර දෙවියන් ගෙ ආශිර්වාදයෙන් යකැදුරුකම් කරන ඇදුරන්ට මත්පැන් වගේ දේවල් බොහෝ වෙලාව⁣ට තහනම් වුණාට කම්බිලි, කඩවර වගේ අය ඒවා ගැන වැඩිය මායිම් කරන්නෑ. කඩවර පූජාවල් කරද්දි මත් වර්ග තියෙන්න ඕනෙ පුද විදියට. ඒක අනිවාර්යය දෙයක්.
කම්බිලි දෙවි තුන් කට්ටුවක් ඉන්නවා. කළු කම්බිලි, හැඩ කම්බිලි සහ රත්න කම්බිලි කියලා. ලංකාවෙ අදහන සමහර දෙවිවරු වගේ කම්බිලි දෙවියන්ටත් උපත් කතා කීපයක් තියෙනවා. දේශීය උපත් කතාවක් සහ විදේශීය උපත් කතාවක්. කම්බිලි ගැන තියෙන තොරතුරු අධ්යයනය කරද්දි මට හිතුණු දෙයක් තම යි පසු කාලයෙ විදේශීය රටකට අයිති කරගත්ත දේශීය දෙවියක් විදියට කම්බිලි ගැන කල්පනා කරන්නත් බැරි නෑ කියන එක. අපේ දේශීය දෙවිවරු කීප දෙනෙක් ම කාලයත් එක්ක වෙන රටවල්වලින් අයිති කරගත්ත බව පේන නිසා ඒ අදහසෙ වරදකුත් නැති ව ඇති. ඒ වගේ ම තම යි කම්බිලි කියන්නේ අයියනායක දෙවියන් ගෙ පරිවාරයට අයිති කෙනෙක්.
කම්බිලි උපත ගැන තියෙන දේශීය උපත් කතාව පණ්ඩුකාභය රජතුමා ගෙ කාලෙට යන⁣වා. පණ්ඩුකාභය රජතුමා සිය සටන්වල දී සහාය කරගත් දුම්රක්ගල චේතියා නමැති යකින්නක් හිටියා. මේ යකින්න දරුවො තුන් දෙනෙක් බිහි කරනවා. එයින් පළමු දරුවා කලු පාට යි. දෙවැන්නා ලා කහ පාට යි. තුන් වැන්නා රත්රන් පාට යි. ඒ නිසා මේ තුන් දෙනාට නම් දැම්මා කළු කම්බිලි, හැඩ කම්බිලි, රත්න කම්බිලි කියලා. මේ ⁣අය නුවර කලාවියේත්, වන්නි හත් පත්තුවේත් බලය පතුරුවා ගත්තා. කම්බිලි වෙනුවෙන් පිදේනි, සමයන්, බත්මාලා, කෝල්මුර ආදි නා නා ප්රකාර අභිචාර පැතිරිලා තියෙනවා.
කම්බිලි දෙවියන් ගැන කවි විශාල ප්රමාණයක් මම එකතු කරගෙන තියෙනවා. මහව, මැදවච්චිය, එප්පාවල වගේ ප්රදේශවලින් මේ කවි එකතු කරගත්තෙ. කවිවල තියෙන අපූරු ම දේ තම යි අන්තර්ගත කතා සහ ඇතැම් ප්රකාශනවල සමානකම් දකින්න ලැබෙන එක. ප්රදේශ වෙනස් වුණත් අනුරාධපුර මනුස්සයෙක් කම්බිලි ගැන දැකපු විදියට ම තම යි මහව මනුස්සයෙකුත් කම්බිලි ව දැක්කෙ.
කම්බිලිටත් අවතාර ඉන්නවා. කළු කම්බිලි, මල් කම්බිලි, ලේ කම්බිලි, සුර කම්බිලි, අසුර කම්බිලි, ගොළු කම්බිලි, දළ කම්බිලි, ගිනි කම්බිලි ආදි වශයෙන්. ඒ ඒ කම්බිලි අවතාර ගෙන්නන වෙනස් වෙනස් කවි තියෙනවා. උදාහරණයක් විදියට මල් කම්බිලිට කියන්නේ මෙහෙම කවියක්.
කල්ලතුරේ සත් මුහුඳේ කදිරමොලේ වැඩ සිටින්ඩ
හෙල් හතරේ මෙ සිංහලේ කලා රටේ තෙද පාන්ඩ
මල් මාලේ දෙවුර දරා ඔමරි නුරා ගමන් එන්ඩ
දුල්ල වඩන මල් කම්බිලි මල් යහනට වැඩමවන්ඩ
කම්බිලි දෙවියන් ගැන තියෙන ප්රධාන ජනප්රවාදයක් තම යි ‘කඳුබඩගම වෙද රාළ’ ගැන තියෙන කතාව.
කඳුබඩගම වෙදරාළ කියන්නේ බොහොම දක්ෂ යකැදුරෙක්. මේ වෙදරාළ එක්ක ඒ තරං ඇයි හොඳයියක් නො තිබුණු ප්රභූවරයෙක් හිටියා හිද්දෑවේ මොහොට්ටාල කියලා. හිද්දෑවේ මොහොට්ටාල කම්බිලි-කඩවර ඇදහිල්ල බොහොම භක්ත්යාදරයෙන් කළා. ඔහු ගෙ පුරුද්දක් තිබුණා මල්බලිගල කම්බිලි දේවාලෙට කෙම්මුර දවස්වල ගිහින් පුද පූජා කරන්න. කම්බිලි කෝල්මුර කවිවල තියෙනවා මෙහෙම කවියක්.
යන එන අය පිහිට ගන්ට නිතර වඳිති මල්බලිගල
කන බොන කිසි දෙයක් නැතුව හිර කෙරුවේ මුදලේ බොල
පැන පැන යන මී දෙන් වැස්සි අල්ලන්නට බැරුව ම බොල
දින දින රැක දෙන් කම්බිලි හිද්දෑවේ මොහොට්ටාල
මේ කවිය ඇතුළෙ කඳුබඩගම වෙද රාළ ගෙ කතා තුනක් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් ලිපිය දිග වැඩි වෙන නිසා ඒ ගැන සටහන් කරන්නෑ. කොහොම හරි මල්බලිගල ගැන යි, හිද්දෑවේ මොහොට්ටාල ගැන යි තියෙන නිස යි මම කවිය සටහන් කළේ.
කතාවට හැරුනොත් හිද්දෑවේ මොහොට්ටාල එක්ක කඳුබඩගම වෙරාළ ගෙ තිබුණු නො මනාපය නිසා මොහොට්ටාල නිතර යන එන මල්බලිගල දේවාලයට කම්බිලි නො යවා ඉන්න කඳුබඩගම වෙදරාළ උවමනා වෙනවා. ඔහු අඳුනෙන් බලලා කඩවර සහ කම්බිලි දේවාලෙට එන පාර රැකගෙන ඉන්නවා. රැවටීමකින් කම්බිලි ව හිර කරගන්නවා. කඩවර පැනලා යනවා. නමුත් කම්බිලිත් දින කීපයකට පස්සෙ උපක්රමශීලී ව කඩවර ලවා කතරගම දෙවියන් ගෙ අනුහසින් වෙදරාළ ගෙන් නිදහස් වෙලා වෙද රාළ වත් විනාශ කරනවා. මේ කථා බොහොම දිග යි. අතුරු කතා එමට යි. කෙටියෙන් සටහන් කළේ.
පෙන්නු බලේ කතරගමට යන්ට නො දී වුණු තරඟෙට
ගෙන්නු බලේ ගොම පිරිබඩ ගාන්ඩ කිව් අවිහිර ගෙට
උන්නු කොලුගෙ බොටුව කඩා තිවුවෙ උගෙ ළපැත්ත පිට
දුන්නු දූගෙ ඇහූද බොල කඳුබඩගම මහ වෙදාට
කම්බිලි ගෙ හැඩ හුරුකම් මෙහෙම යි.
රතු කම්බිලි සළුව ඉඟට බැඳලා මුතු මාල කරට
ගෙතු රන්පටි දමා සිරස මුණ්ඩාසන කඩුව අතට
වන්නි හත් පත්තුවෙ, රජරට මිනිස්සු කම්බිලිට ලොකු ගෞරවාදරයකින් සලකන්නෙ. ගොඩක් වෙලාවට කම්බිලි උන්නැහේ, කම්බිලි අප්පච්චි වගේ හෘදයාංගම පද ඔවුන් භාවිත කරනවා.
බාර වෙමින් පස් පව් හැර නරලොව රැකපන් කියලා
බාර කලේ පුල්වන් දෙවි කම්බිලි දෙවි තෙද දැකලා
ගෝර රුදුරු යක් සෙන් බිඳ රට රටවල තෙද පාලා
නෑර සිටිති අනුරපුරේ අටමස්ථානෙට වැඩලා
කම්බිලි සහ කඳුබඩගම වෙද රාළ ගැන තියෙන ජනප්රවාද නිවාඩුව ලියන්නම්.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...